DFCC බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම QR’ වැඩසටහන ශක්තිමත් කිරීමට යළිත් දායක වෙයි

    March, 25, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව 'රට පුරාම QR' යන තේමාව යටතේ ක්‍රියාත්මක කර ඇති, Quick Response (QR)  ගනුදෙනු තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ අරමුණු වලට සමගාමී ප්‍රවර්ධන වැඩසටහනක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. 'කාටත් ගැළපෙන බැංකුව' යන විරුදාවලිය ලද DFCC බැංකුව විසින්, මුදල් භාවිතය අවම කරමින් QR තාක්ෂණය භාවිතයට ජනතාව යොමුකරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දරන උත්සාහයට නොසැලෙන සහයක් ලබාදෙන හවුල්කරුවෙකු ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන තුළින් QR තාක්ෂණය සම්බන්ධයෙන් විශාල පිරිසක් දැනුවත් කිරීමට අවස්ථාව ලැබුණු අතර, එම තාක්ෂණය සහිත DFCC Pay App භාවිතය වැඩි කිරීමටද හැකියාව ලැබිණි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය කොළඹ ප්‍රදේශයේ වැදගත් ආර්ථික කේන්ද්‍රයක් වන අතර, මෙම වැඩසටහන ඔස්සේ එහි වෙළඳුන්ට හා පාරිභෝගිකයන්ට DFCC Pay App හරහා QR තාක්ෂණය භාවිතා කිරීමෙන් ලැබෙන වාසි පිළිබඳව හොඳින් දැනුවත් වීමට අවස්ථාව හිමි විය.

    වැඩි පහසුවක් හා ආරක්ෂාවක් ලබාදෙන නව තාක්ෂණික විසඳුම් වෙත ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටින මෙම අවධියේ, මුදල් භාවිතයෙන් තොර අනාගතයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා DFCC බැංකුව සක්‍රීය ලෙස සිය සහයෝගය ලබාදෙමින් සිටී. නවීනතම තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය වෙත පියනගමින් සිටින බැංකු ආයතනයක් ලෙස DFCC බැංකුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් සතු පොදු ඉලක්ක හා අරමුණු තුළින්, මෙරට ජනතාව අතර QR තාක්ෂණය ප්‍රචලිත කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකළ හැකිවනු ඇතැයි DFCC බැංකුව අපේක්ෂා කරයි.

    ගනුදෙනුකරුවන් QR තාක්ෂණය භාවිතයට යොමුකරවීම මගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව DFCC බැංකුවට පැහැදිලි අවබෝධයක් ඇත. 2019 වසරේදී DFCC Pay App හඳුන්වා දීමෙන් අනතුරුව DFCC බැංකුව මෙරට LANKAQR සහතික ලැබූ මුල්ම බැංකු ආයතන අතරින් එකක් බවට පත්වූ අතර, LANKAQR මේ වනවිට ශ්‍රී ලංකාවේ පොදු QR ජාලය ලෙස සැලකේ.

    පුරෝගාමී හඳුන්වා දීමක් වන DFCC Pay App මගින් ගනුදෙනුකරුවන්ට තමන් මිලදීගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා මුදල් ගෙවීමේදී, තම ජංගම උපාංග භාවිතා කරමින්, තම ඉතුරුම් හෝ ජංගම ගිණුම් වල ඇති මුදල් සෘජුවම අලෙවිකරුගේ ගිණුමට බැරකළ හැකි වේ. මෙය සාමාන්‍යයෙන් මුදල් මගින් ගෙවීම් කිරීම වෙනුවට භාවිතා කළ හැකි පහසු, සුරක්ෂිත හා ලාභදායී ක්‍රමයකි. තවද DFCC ක්‍රෙඩිට් කාඩ්පත්ද DFCC Pay App සමග සම්බන්ධ කළ හැකි අතර ඒ ඔස්සේ මෙරට මෙන්ම විදේශයන්හිද VISA QR ගෙවීම් පහසුකම් සහිත අලෙවිසැල් වලදී ස්මාර්ට් ජංගම උපාංග භාවිතයෙන් ගෙවීම් කළ හැකි වේ.

    මෙරට මහා පරිමාණ සමාගම් සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට පමණක් නොව, ඉතා කුඩා මට්ටමේ අලෙවිසැල් වලට වුවද ඉතාමත් පහසුවෙන් DFCC Pay App භාවිතා කළ හැක. ගෙවීම් තහවුරු කිරීම SMS Alerts මාර්ගයෙන් සිදුවන නිසා, ඉතාම මූලික මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථන හිමි වෙළඳුන්ට පවා DFCC Pay App මගින් ගෙවීම් භාරගත හැකි වේ.

     

    ඡායාරූපය:   ප්‍රවර්ධන වැඩසටහන අතරතුරදී DFCC බැංකුවේ කළමනාකරු (අලෙවිකරුවන් සම්බන්ධ කරගැනීම්) ක්‍රිෂාන් ජයමාන්න මහතා (මැද) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියෙකු වෙත QR තාක්ෂණය භාවිතා කරමින් ගෙවීම් භාරගත හැකි උපාංගයක් පිරිනැමූ අවස්ථාව