DFCC බැංකුව ‘ACEF Asia Leaders Awards 2023’ හිදී විශිෂ්ටතම ඩිජිටල් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සඳහා රන් සම්මාන දිනා ගනී

    October, 5, 2023

    DFCC බැංකුව පසුගියදා පැවති ‘ACEF Asia Leaders Awards 2023’ හිදී ‘Best Social Media Content on YouTube’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. DFCC බැංකුවට මෙම සම්මාන උළෙලවල් වලදී මෙම කාණ්ඩය සඳහා අඛණ්ඩව සම්මාන හිමි වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙය DFCC බැංකුවේ නවෝත්පාදන හැකියාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ව්‍යාපාරික පරිසරය සමග බැංකුව පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවට මනා උදාහරණයකි.

    ඩිජිටල් ප්‍රචාරණ සහ ප්‍රවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් දිනපතා එළිදකින වර්තමාන ලෝකය තුළ ව්‍යාපාරික ඉලක්ක සහ සංස්කෘතික වටිනාකම් මැනැවින් ඒකාබද්ධ කිරීම නිසා, "DFCC Bank Avurudu Hallmark YouTube Video 2022" ලෙස නම්කර තිබූ අදාළ වීඩියෝව ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රශංසාවට ලක් විය.

    “මෙම රන් සම්මානය, අලෙවිකරණයේ විශිෂ්ටත්වය උදෙසා මෙන්ම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ යහපත උදෙසා අප දක්වන කැපවීමට සාක්ෂි දරනවා. අපගේ සන්නාමය ප්‍රවර්ධනය කරන අතරම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීම අරමුණු කරගත් අලෙවිකරණ වැඩසටහන් නිර්මාණය කිරීමට අපගේ කණ්ඩායම සමත් වීම අපට ආඩම්බරයක්. එමෙන්ම මෙම සම්මානය අපගේ අලෙවිකරණ ක්‍රමෝපායේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. ඩිජිටල් අලෙවිකරණය යනු අපගේ සන්නාම ප්‍රචාරණ සහ ප්‍රවර්ධන ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක්.” DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

    මෙම වීඩියෝව මගින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හා බැඳුණු රමණීය සංස්කෘතික ලක්ෂණ මෙන්ම, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයට දක්වන දායකත්වය මැනැවින් නිරූපණය විය. ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට සමීප වෙමින්, අපේක්ෂිත පණිවිඩය ඔවුන් වෙත සන්නිවේදනය කිරීමට එය සමත් වූයේ එබැවිනි.

    “සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු විසින් සමරනු ලබන සංස්කෘතික උත්සවයයි. සංස්කෘතිය, සම්ප්‍රදාය සහ පවුලේ වටිනාකම් ආදිය ඊට පදනම සපයනවා. මෙවර අපට ඒ වෙනුවෙන් කිසියම් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වුණා. මෙම ප්‍රවර්ධන වැඩසටහන සැලසුම් කරන අවධියේ රටට COVID-19 රෝග ව්‍යාප්තියේ බලපෑමට මෙන්ම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වී තිබුණා. එමගින් සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වූ බලපෑම සුළුපටු නැහැ. එවැනි තත්ත්වයක් හමුවේ, එම කාණ්ඩයේ ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට අත්වැලක් වීමට කැපවුණු බැංකුවක් වශයෙන්, අවුරුදු චාරිත්‍රවලට වටිනාකම නිරූපණය කරන අතරම බැංකුවක් ලෙස අප සතු වටිනාකම් නිර්මාණශීලී ලෙස ලොවට පෙන්වා දීම සඳහා අප මෙම වීඩියෝව නිර්මාණය කළා.”  නිල්මිණි ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

    මෙම වීඩියෝව පුරාම DFCC බැංකු සන්නාමයේ මූලිකාංග නිර්මාණශීලී ලෙස නිරූපණය කිරීමට එය නිර්මාණය කළ කණ්ඩායම සමත් වී තිබුණු අතර, එය මෙම ප්‍රවර්ධන වැඩසටහනේ සුවිශේෂී බව වැඩි කිරීමට දායක වූ සාධකයක් විය. එමෙන්ම එහි ආකර්ෂණීය සංගීතය, දෙබස් සහ හැඟීම් නිරූපණය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබිණි.

    මෙම වැඩසටහනේ තවත් කැපීපෙනෙන අංගයක් වූයේ, DFCC බැංකුවේ නවෝත්පාදනීය ක්‍රමෝපායයි. වර්තමානයේ අප භාවිතා කරන විවිධ සමාජ මාධ්‍ය ස්වභාවය හඳුනාගනිමින්, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය යෙදවුම්වල දැන්වීම්කරණය ඔස්සේ සුවිශේෂී ප්‍රවේශයක් අත්හදා බැලීමට DFCC බැංකුව කටයුතු කළේ ය. මෙය අතිශයින් සාර්ථක වූ අතර, ඒ ඔස්සේ බොහෝ දෙනෙකු You Tube වෙත පිවිසී මෙම වීඩියෝව නැරඹූහ.

    You Tube හි Views 87,000 ක් වාර්තා කළ මෙම වීඩියෝව, මෙරට සංස්කෘතික වටිනාකම් මෙන්ම කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය පිළිබඳ පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමට සමත් විය. එය ව්‍යවසායකත්වය දිරිගන්වමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහයේ ප්‍රතිඵලයක්ද වේ.

    ACEF Asia Leaders Awards 2023 හිදී මේ ආකාරයට DFCC බැංකුව රන් සම්මානයකින් පිදුම් ලැබීම, නිර්මාණශීලී අලෙවිකරණය/ ඩිජිටල් මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා බැංකුව දක්වන කැපවීමද තහවුරු කරන සාධකයකි. ඉදිරියටත් මෙරට බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන තුළ පෙරමුණ ගනිමින්, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයට නව ආදර්ශ සැපයීමට DFCC බැංකුව සූදානමින් සිටී.