December, 20, 2021
DFCC බැංකුව, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන මූල්‍ය ආයතනය බවට පත්වීමේ ඉලක්කයෙහි තවත් පියවරක් වශයෙන්, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ.
මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ DFCC කාර්ය මණ්ඩලයෙනි. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර අනුව, මෙම මධ්‍යස්ථානය ‘DFCC Agile’ ලෙස නම්කරන ලදි. එහි සම්පූර්ණ නම ‘‘DFCC Agile - Innovation Centre of Excellence’ වන අතර, එය DFCC බැංකුවේ ඉදිරි ගමන සහ අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතා වලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක දායකත්වයක් දක්වනු ඇත. මේ ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳපොළට නවතම මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුවට හැකියාව ලැබේ.
අනාගත වටිනාකම් නිර්මාණකරණය තුළදී එයටම ආවේණික වූ ක්‍රියාවලි සහ පහසුකම් තිබීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම නව විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමේදී, එයට අවශ්‍ය නිර්මාණශීලීත්වය, දැනුම හා විශේෂඥභාවය වැනි සාධක එක්තැන් කිරීම සඳහා, බාහිර පාර්ශ්වයන් සමග විධිමත් ලෙස සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම DFCC බැංකුවේ ක්‍රමෝපාය අංශය විසින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. ඒ අනුව ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය යටතේ, නවීන තාක්ෂණය සහ ගනුදෙනුකරුවන්ගේ අදහස් පදනම් කරගනිමින්, අනාගතයට වඩාත් හොඳින් ගැළපෙන බැංකු හා මූල්‍ය සේවාවන් හඳුන්වා දීම පහසු වනු ඇත.
ක්‍රමෝපායික චින්තන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය, DFCC බැංකුවේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය කරන පරිදි සැලසුම් කර ඇති අතර, එය නව සංකල්ප නිර්මාණය කිරීමේ සහ පරීක්ෂාවට ලක්කිරීමේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරයි. මෙමගින් නව අදහස් හා සංකල්ප, නිෂ්පාදන හෝ සේවාවන් ලෙස ක්‍රියාවට නැංවීමට පෙර ඒවා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට හැකියාව ලැබේ.
මෙම වැඩසටහන යටතේ, තම නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට සඳහා Innovation Quotient (IQ) සමග හවුල්කාරීත්වයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කළේ ය. IQ සමාගම තෝරාගන්නා ලද්දේ, නවෝත්පාදනය, ‘Design Thinking’ ක්‍රියාවලිය සහ ව්‍යාපාර සැලසුම්කරණය යනාදී අංශ සම්බන්ධයෙන් එම සමාගම සතු පැය 100,000 කට අධික පළපුරුද්ද සැලකිල්ලට ගනිමිනි. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුවේ අනාගත නවෝත්පාදන සැලසුම නිර්මාණය කිරීම, ශක්‍යතාවන් පුළුල් කිරීම, නවෝත්පාදන මෙවලම් හඳුන්වා දීම සහ නිර්මාණශීලී පරිවර්තනයන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ආදිය සිදුකෙරේ. ප්‍රධාන විධායක නිලධාරී තුමන් සහ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සමස්ත නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවනු ලබනු ඇත. IQ යනු ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ප්‍රථම ‘Design Thinking’ සමාගම වන බැවින්, තම නවතම මාර්ගගත බැංකුකරණ සේවා පදනම සඳහා අතුරු මුහණතක් නිර්මාණය කිරීම සඳහාද එම සමාගමේ දායකත්වය ලබාගැනීමට DFCC බැංකුව කටයුතු කළේ ය.
මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ ඩිජිටල් ඉදිරි ගමනේ නවතම අදියරක් ලෙස ‘DFCC Agile - Innovation Centre of Excellence’ ආරම්භ කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ අනාගත ගමන් මගේ පුරෝගාමී කේන්ද්‍රයක් බවට පත්වේවි. ක්ෂේත්රයේ අනාගතය රඳා පවතින්නේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සහ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව මතයි. එම නිසා බැංකු ක්ෂේත්රයට Design Thinking ක්‍රියාවලිය අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට අප සමග එක්වන මෙන් ආරාධනය කිරීමට මා කැමතියි. මෙම වැඩසටහන වෙනුවෙන් පත්කළ කණ්ඩායම Design Thinking විධික්රම ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”
Innovation Quotient හි ප්‍රධාන විධායක නිලධාරී මෆාස් ඉෂාක් මහතා මෙසේ අදහස් පළකළේ ය. “DFCC Agile සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී DFCC බැංකුවේ දියුණුවට සමගාමීව තවදුරටත් පුළුල් වෙමින්, අභ්‍යන්තර හා බාහිර හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී Design Thinking විධික්රම ඔස්සේ නව අදහස් හා සේවාවන් හඳුන්වා දීම සඳහා මහෝපකාරී වේවි.”
DFCC බැංකුවේ අනාගත වර්ධනය උදෙසා එහි අභ්‍යන්තර හැකියාවන් ශක්තිමත් කිරීම DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය වෙත පැවරෙන තවත් භූමිකාවකි. එහිදී හඳුනා ගනු ලබන සැලසුම් අනුව විවිධාකාර වූ ව්‍යපෘති ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ කණ්ඩායම් පත්කෙරෙනු ඇත. මේ ඔස්සේ, DFCC බැංකුවේ අනාගත දියුණුව සඳහා ඇති අවස්ථා ඉලක්ක කරගෙන සැලසුම් ක්‍රියාවට නැංවීමට පෙර, ඒවා පුළුල් පරීක්ෂණ ක්‍රියාවලියක් ඔස්සේ තහවුරු කරගැනීමට අවස්ථාව හිමි වේ.
බැංකු ක්ෂේත්රයේ අනාගතයට වැදගත් වන ඩිජිටල් තාක්ෂණ ප්රවණතා හඳුනා ගැනීම සහ, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් හිමිවන ආකාරයේ සේවාවන් හඳුන්වා දීම වැනි කටයුතු සම්බන්ධයෙන්ද DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රමුඛතම අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම නිරන්තරයෙන් පරිශීලක ප්‍රතිචාර ලබාගනිමින්, ඩිජිටල් නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කිරීමට ඒ ඔස්සේ හැකියාව ලැබේ. තවද නිෂ්පාදන හා ක්‍රියාවලි නවෝත්පාදනයට සහ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීමට මෙන්ම, උපරිම කාර්යක්ෂමතාවක් ළඟා කරගැනීම සඳහා අභ්‍යන්තර ක්‍රියාවලි වැඩිදියුණු කිරීමටද මෙම මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
මෙවැනි වැඩසටහනක් හඳුන්වා දීම තුළින්, නවක සමාගම් හා විශ්ව විද්‍යාල ආදියටද බැංකුව සමග එක්වී නව විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහාද DFCC Agile ව්‍යාපෘතිය තුළදී විශේෂ අවධානයක් යොමුකිරීමට සැලසුම් කර තිබේ.
DFCC Agile ඔස්සේ, අනාගත තාක්ෂණික හා ඩිජිටල් ප්රවණතාවන් මැනවින් ග්‍රහණය කරගනිමින්, තම සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීමටත්, ගනුදෙනුකරුවන්ට පෙර නොවූවිරූ පහසුවක් අත්කර දීමටත් තමන්ට හැකියාව ලැබෙනු ඇති බව DFCC බැංකුව විශ්වාසය පළකර සිටී.
ඡායාරූපය:
Innovation Quotient හි ප්‍රධාන විධායක නිලධාරී මෆාස් ඉෂාක් මහතා (වමේ සිට 4 වැනියට) සහ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා (වමේ සිට 5 වැනියට) හවුල්කාරීත්ව ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
(වමේ සිට) DFCC බැංකුවේ විධායක උප සභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ, එහි තොරතුරු තාක්ෂණ ප්‍රධානී නිශාන් වීරසූරිය, Innovation Quotient (IQ) සම-නිර්මාතෘ සහ ප්‍රධාන වාණිජ නිලධාරී ෂෆ්රාස් ෆලීල්, DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි, එහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, සහ උප සභාපති (අලෙවි සහ තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න යන මහත්ම මහත්මීන්
Video Story