DFCC iConnect වෙතින් ශ්‍රී ලාංකික සමාගම්වලට සුවිශේෂී ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුම්

    July, 26, 2021

    COVID-19 රෝග ව්‍යාප්තියත් සමග ඩිජිටල් තාක්ෂණය පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙන පසුබිමක් තුළ, සමාගම් හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම ඉක්මන් හා කාර්යක්ෂම දුරස්ථ මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වමින් සිටිති.
    DFCC බැංකුව හඳුන්වා දී ඇති සුවිශේෂී ඩිජිටල් සේවාවක් වන DFCC iConnect සේවාව 2018 වසරේ සිටම ශ්‍රී ලාංකික සමාගම් හා ආයතන වල එදිනෙදා මූල්‍ය ක්‍රියාකාරකම් වඩාත් පහසු කරමින් සිටී. රටේ ආයතනික බැංකුකරණ ක්ෂේත්‍රයට නව ආදර්ශයක් වූ එම සේවාව, මෑතකදී පැවති Asiamoney සම්මාන උළෙලේදී 'මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා - ශ්‍රී ලංකාව (දේශීය බැංකු)' සහ 'මුදල් කළමනාකරණ සේවා අංශයේ විශිෂ්ටයා - ශ්‍රී ලංකාව' යන සම්මාන වලින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන Orel Corporation (Pvt) Ltd. සහ Gamma Pizzakraft Lanka (Pvt) Ltd. වැනි සමාගම් කලක පටන් DFCC iConnect සේවාවන් භාවිතා කරයි.

    Orel Corporation යනු Industry 4.0 හි නියුතු අනුවර්තීය නිෂ්පාදන විද්‍යුත්-වාණිජ සේවා මූලික කරගත් සමාගමකි (Adaptive manufacturing e-commerce led enterprise). එම සමාගම ගොඩනැගිලි යටිතල පහසුකම්, ඩිජිටල් යටිතල පහසුකම්, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් වාණිජ්‍යය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, IoT සහ ප්‍රවාහන සේවා යනාදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කරයි. තෙවැනි පරපුරට අයත්, පවුල් හිමිකාරීත්වය යටතේ පවතින බහුජාතික සමාගමක් ලෙස, මහද්වීප 6 ක රටවල් 28 ක් පුරා විහිදී පවතින Orel සමාගමේ ඉලක්කය වන්නේ ඉදිරි වසර කිහිපය තුළ 100 ගුණයකින් වර්ධනය වීම ය. ප්‍රමුඛතා ගනුදෙනුකරුවෙකු ලෙස DFCC බැංකුව සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන ඇති Orel සමාගම iConnect app හරහා DFCC iConnect සේවාවන් ලබාගනී.

    DFCC iConnect සම්බන්ධයෙන් අදහස් දක්වමින් Orel හි සමූහ මූල්‍ය කළමනාකරු දිනේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවසී ය. "DFCC iConnect සේවාවන් තෝරාගැනීම මගින් අපට ප්‍රතිලාභ කිහිපයක් අත්වුණා. අපගේ මූල්‍ය කටයුතු පහසු කරන ස්වයංක්‍රීය සේවාවන් කිහිපයක්ම එමගින් අපට ලැබෙනවා. එම නිසා එම කටයුතු වලට අතිරේක කාලයක් හෝ පුද්ගලයන් යෙදවීම අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම එය සාමාන්‍ය ක්‍රමයට චෙක්පත් නිකුත් කිරීම ඇතුළුව අනවශ්‍ය ලිපිලේඛන භාවිතය අවම කරවනවා. මෙම සේවාව නිසා අපගේ මූල්‍ය පාලන කටයුතු වල දියුණුවක් සිදුවී ඇති බව පැහැදිලියි. අපගේ එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකර ගැනීමට උපකාරී වන මෙම සේවාව ගැන අප විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ වගේම එය භාවිතා කිරීමත් ඉතාම පහසුයි."

    Gamma Pizzakraft Lanka සමාගම මේ වනවිට Pizza Hut සහ Taco Bell සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිත සමාගම ලෙස කටයුතු කරයි. තම එදිනෙදා මූල්‍ය කටයුතු වලදී DFCC iConnect සේවාව භාවිතා කිරීම මගින් විශාල පහසුවක් අත්වන බව එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සරත් කුමාර සිංහපුරගේ මහතා පැවසී ය. වසර 25 කට අධික කාලයක් පුරා මෙරට තුළ ව්‍යාපාර කටයුතු සිදුකරන එම සමාගම මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 70 කට අධික සංඛ්‍යාවක් විවෘත කර තිබේ. Gamma Pizzakraft සමාගම DFCC බැංකුවේ කාලීන ණය මෙන්ම සහ සාමාන්‍ය ආයතනික බැංකුකරණ සේවාවන්ද භාවිතා කරයි. සමාගමේ මුල් අවධියේදී එහි අලෙවිසැල් ජාලය පුළුල් කිරීමේ සැලසුම සඳහා ණය ලබාදීමට ඉදිරිපත් වූ ප්‍රථම බැංකුව DFCC බැංකුව විය. ඉන් පසුව එම සමාගමේ තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයකටම මූල්‍ය පහසුකම් ලබාදීමට DFCC බැංකුව කටයුතු කළ අතර, දෙපාර්ශ්වය අතර සමීප සම්බන්ධතාව අඛණ්ඩව ඉදිරියට යමින් පවතී.

    වසරකට ආසන්න කාලයක් තිස්සේ DFCC iConnect සේවාව භාවිතා කරන Gamma Pizzakraft සමාගමට එමගින් ප්‍රතිලාභ රාශියක් හිමි වී ඇත. 'Host to host' ගෙවීම් සහ 'Direct File Uploading' මෙන්ම වැටුප් ගෙවීම් සහ ගෙවීම් නියෝග ඇතුළු සේවාවන් රාශියක් සඳහා එම සමාගම DFCC iConnect භාවිතා කරයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහපුරගේ මහතා මෙසේ පැවසී ය. "මෙම පද්ධතිය ඉහළ සුරක්ෂිතතාවක් සමග පරිශීලක මට්ටමින් බලය පැවරීම සඳහා අවස්ථාව ලබාදෙන නිසා අපට වඩාත් කාර්යක්ෂම ලෙස අපගේ කාලය කළමනාකරණය කරගැනීමට පුළුවන්. DFCC iConnect සේවාවේ වැටුප් පිරිසැකසුම් ක්‍රමවේදය අතිවිශිෂ්ට මට්ටමක පවතින අතර එය අපගේ සැසඳීම් ක්‍රියාවලි සඳහා බෙහෙවින් උපකාරී වෙනවා. එමෙන්ම එය අපගේ අලෙවිකරුවන්ට චෙක්පත් ලබාගැනීම සහ ඒවා මුදල් කිරීම සඳහා වැය කළ යුතු කාලය ඉතිරි කර දෙනවා. ඉතාමත් හොඳ සම්බන්ධතා කළමනාකාර වරයෙකුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මුදල් කළමනාකරණ කණ්ඩායම වෙතින් ලැබෙන සේවය අතිවිශිෂ්ටයි. මේ සියල්ල නිසා අපගේ ආයතනික බැංකුකරණ හවුල්කරු ලෙස DFCC බැංකුව සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්."

    රටේ සමාගම් හා ආයතන වැඩි සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් DFCC බැංකුව දිගින් දිගටම තම ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුම් වැඩිදියුණු කරමින් සිටී. 2025 වසර වනවිට ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීම, DFCC බැංකුවේ ප්‍රධානතම අරමුණ වී තිබේ.