DICL සහ MIFCO එක්ව මාලදිවයින් “Fasmeeru” සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    May, 6, 2026

    මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) හි ප්රමුඛතම ටූනා (Tuna) සන්නාමය වන "Fasmeeru" නිෂ්පාදන මෙරටට බෙදාහැරීමේ සුවිශේෂී නිල නියෝජිතයා ලෙස ඩිවලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් ලිමිටඩ් (DICL) සමාගම, මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) සමඟ එක්ව "Fasmeeru" නිෂ්පාදන පෙළ ශ්රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.

    මෙම සුවිශේෂී සමාරම්භක උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතා සහභාගී වූ අතර, ශ්රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා මෙන්ම මාලදිවයිනේ ජ්යෙෂ්ඨ අමාත්යවරුන් සහ දෙරටේ මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්යතාන්ත්රික නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

    මෙම සහයෝගීතාවය හරහා, DICL සමාගම සතු ශක්තිමත් සැපයුම් දාමය සහ බෙදාහැරීමේ ජාලය උපයෝගී කරගනිමින්, ශ්රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙත සෘජුවම සමීප වීමට අපේක්ෂා කරයි. මීට අමතරව, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ඔවුන්ගේ "Zefro" සිල්ලර හා තොග වෙළෙඳ ජාලය හරහා, මෙම මුහුදු ආහාර නිෂ්පාදන දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට ද සමාගම සැලසුම් කර ඇත.

    උත්සවයේ සමාරම්භක දේශනය පවත්වමින් මාලදිවයිනේ ධීවර, කෘෂිකර්ම සහ සාගර සම්පත් අමාත්ය අතිගරු අහමඩ් ශියාම් (Ahmed Shiyam) මැතිතුමා විසින් තිරසාර ධීවර කර්මාන්තය සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

    මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරියේ, මාලදිවයිනේ ආර්ථික සංවර්ධන, ප්රවාහන හා වෙළෙඳ අමාත්ය මොහොමඩ් සයීඩ් (Mohamed Saeed) මහතා විසින් මෙම "Fasmeeru" සන්නාමය නිල වශයෙන් එළිදක්වන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ DICL සමාගමේ ප්රධාන විධායක නිලධාරී (CEO) සුරේෂ් හෂීම් (Zuraish Hashim) මහතා ප්රකාශ කළේ, මෙම හඳුන්වාදීම හුදෙක් සන්නාමයක් වෙළෙඳපොළට හඳුන්වා දීම පමණක් නොවන බවත්, එය කලාපය පුරා වෙළෙඳ සබඳතා ගොඩනඟමින් දශක හතකට වැඩි කාලයක් පුරා තබා ඇති විශ්වාසනීය උරුමයක ප්රතිඵලයක් බවයි.
    ශ්රී ලංකා රජය නියෝජනය කරමින් මෙම නිල සමාරම්භක උත්සවයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා අදහස් දැක්වූ අතර, දීර්ඝකාලීන අන්යෝන්ය ගෞරවය, පොදු උරුමයන් සහ ශක්තිමත් ජනතා සබඳතා මත ගොඩනැඟුණු ශ්රී ලංකා-මාලදිවයින් මිත්රත්වය මෙම නව වෙළෙඳ සබඳතාවය හරහා තවදුරටත් ගැඹුරු වන බව මෙහිදී සඳහන් කරන ලදි. විශේෂයෙන්ම වෙළෙඳ, ධීවර සහ ආහාර සුරක්ෂිතතාවය යන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙවැනි පියවරක් බෙහෙවින් ඉවහල් වන බවද අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා..,
    "ධීවර ක්ෂේත්රය යනු ශ්රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකෙහිම ආර්ථිකයේ වැදගත්ම අංශයක් වන අතර, එය ජීවනෝපාය සුරක්ෂිත කිරීමට, පෝෂණය ඉහළ නැංවීමට මෙන්ම අපනයන ආදායම් වර්ධනය කිරීමටද සෘජුවම දායක වේ. පාරිසරික හිතකාමී සහ තිරසාර ධීවර ක්රමවේදයන් ඔස්සේ උසස් තත්ත්වයේ ටූනා නිෂ්පාදන සඳහා ලෝක ප්රසිද්ධියක් උසුලන මාලදිවයිනට, ශ්රී ලංකාව වැනි උපායමාර්ගිකව වැදගත් සහ ශීඝ්රයෙන් වර්ධනය වන පාරිභෝගික වෙළෙඳපොළක් සහිත රටක් තම ප්රමුඛතම නිෂ්පාදන හඳුන්වා දීමට තෝරා ගැනීම ඉතා සාධනීය ප්රවණතාවයකි."
    රජයක් ලෙස විදේශීය ආයෝජන දිරිමත් කිරීමට, වෙළෙඳ හවුල්කාරිත්වයන්ට සහය වීමට සහ විනිවිදභාවයෙන් යුත්, ව්යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින බවත්, මෙවැනි මුලපිරීම් හරහා දේශීය පාරිභෝගිකයාට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීමට ඇති අවස්ථා පුළුල් වන බවද පෙන්වා දුන්නේය.

    වේගයෙන් වෙනස් වන ලෝකය තුළ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම වෙන කවරදාකටත් වඩා අද දවසේ දැනෙන බවත්, ශ්රී ලංකාව සහ මාලදිවයින එක්ව කටයුතු කිරීමෙන් නව ආර්ථික අවස්ථා උදාකර ගැනීමට, ශක්තිමත් කර්මාන්ත ගොඩනැඟීමට සහ පොදු සමෘද්ධිය ළඟා කර ගැනීමට හැකි වන බවත් විශ්වාසය පළ කළේය.

    "Fasmeeru" ශ්රී ලංකාවට හඳුන්වා දීම ශ්රී ලංකා-මාලදිවයින් වෙළඳ සබඳතාවල කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එමඟින් ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ, වගකීම් සහගත ලෙස සපයාගන්නා මුහුදු ආහාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා සේම දෙරටේ ප්රමුඛතම ආයතන අතර පවතින ද්විපාර්ශ්වික වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.