DIMO‑CRCC ඒකාබද්ධ ව්‍යාපාරයට රු. මිලියන 869ක ජල සම්පාදන කොන්ත්‍රාත්තුවක්

    May, 6, 2026

    රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 36,000ක් පමණ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, I අදියරේ කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා තිබේ.

    ව්‍යාපෘතියේ II අදියර යටතේ පොළව මට්ටමේ ජලාශ 03ක් ඉදිකිරීම, බූස්ටර් පොම්පාගාර 02ක් ඉදිකිරීම සහ ආශ්‍රිත විද්‍යුත්‑යාන්ත්‍රික ස්ථාපනයන් ද ඇතුළුව සම්ප්‍රේෂණ නළ සහ බෙදාහැරීමේ නළ එළීම යන කොන්ත්‍රාත් පැකේජ ඇතුළත් වේ. ඒ සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදනය ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 07ක් ලැබී තිබේ.

    එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s DIMO‑CRCC‑25 ඒකාබද්ධ ව්‍යාපාරය වෙත එකී කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 869.08ක (බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.