DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග මේ සති අන්තයේදී

    September, 19, 2023

    ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 21 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2023 DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග එළඹෙන සති අන්තයේ, සැප්තැම්බර් මස 23 හා 24 දෙදින පුරා කොළඹ 14 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් දිස්ත‍්‍රික්, පළාත් හා ජාතික මට්ටම් ආවරණය කරමින් 2023 DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය සංවිධානය කෙරිණ. 2023 ජූලි හා අගෝස්තු මාසවලදී පැවැති දිස්ත‍්‍රික් හා පළාත් තරග පේ‍්‍රක්ෂකාගාරය උණුසුම් කළ උද්යෝගිමත් තරග බවට පත්විය. පසුගිය අගෝස්තු මාසයෙන් ආරම්භවී සැප්තැම්බර් දක්වා පැවැති පළාත් තරගවලදී 1, 2 හා 3 ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අවසන් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබීය.

    ග‍්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක‍්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI ප‍්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළ DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන දියුණුවකට මග හෙළි කළ සංධිස්ථානයකි. DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය හරහා එදාමෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට දක්ෂ වොලිබෝල් ක‍්‍රීඩා තරු 400 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පැමිණි පාසල් වොලිබෝල් කණ්ඩායම් 5000 කට අධික ප‍්‍රමාණයක් මෙම වසරේදී තරගාවලියට සහභාගීව ඇත.