DTW International සමාගම Natular DT ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    December, 8, 2021

    මදුරුවන්ගෙන් බෝවන රෝග මර්දනයට අත්වැලක් වන කාබනික මදුරු කීට නාශකය

    DTW International පුද්ගලික සමාගම, UPL සහ Clarke යන සමාගම් සමග එක්වී Natular DT මදුරු කීට නාශක නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඩෙංගු සහ කියුලෙක්ස් මදුරුවන් නිසා බෝවන රෝග වර්ග මර්දනය කිරීමට අත්වැලක් වීමේ අරමුණින් Natular DT නිෂ්පාදනය කර ඇත. වැහි පීලි, වැසි ජලය එකතු වන ටැංකි, අලංකාරය සඳහා ඉදිකර ඇති පොකුණු සහ වෙනත් ජලය එකතු වන ස්ථාන වල මදුරු කීටයන් බෝවීම වැළැක්වීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙස Natular DT මදුරු කීට නාශක පෙති භාවිතා කළ හැකි වේ.

    සෑම වසරකදීම ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බැවින්, එම රෝගය ජනතාව අතර පැතිර යාමේ අවදානම අවම කිරීම සඳහා ඵලදායී විසඳුම් අත්‍යවශ්‍ය වී ඇත. මෙවැනි පසුබිමක් හමුවේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට Natular DT මදුරු කීට නාශක පෙති හඳුන්වා දීමට DTW International පුද්ගලික සමාගම කටයුතු කළේ ය. මීට පෙර මෙම නිෂ්පාදනය ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය සහ බංග්ලාදේශය යන රටවල සාර්ථක ලෙස භාවිතා කර තිබේ. සියයට සියයක්ම ඓන්ද්‍රීය (කාබනික) නිෂ්පාදනයක් වන Natular DT මදුරු කීට නාශකයට දින 60 ක කාලයක් තුළ ජලය ලීටර් 200 ක මදුරුවන් බෝවීමේ අවදානම පාලනය කිරීමේ හැකියාව පවතී. ජල තටාක ඇතුළුව ගලා නොයන ජලය සහිත ස්ථාන සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති මෙය, ඩෙංගු මදුරුවන් සහ කියුලෙක්ස් මදුරුවන් බෝවීමේ අවදානම අවම කරයි. සාමාන්‍යයෙන් ජලය සම්පූර්ණයෙන් හිස් කිරීම දුෂ්කර වන ස්ථාන වල මදුරුවන් බෝවීම අවම කිරීම සඳහා මෙම නිෂ්පාදනය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

    “Natular DT ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. ඩෙංගු රෝගය යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලුවක් බව අප දන්නවා. Natular DT මදුරු කීට නාශක පෙති ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි. මෙය නිවෙස්, ව්‍යාපාරික ස්ථාන සහ අධ්‍යාපන ස්ථාන ඇතුළු ඕනෑම ස්ථානයක භාවිතා කිරීමට පුළුවන්. මෙමගින් ඉතාමත් පහසුවෙන්, ඔබේ ආදරණීයයන් ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම අවම කිරීමට ඔබට හැකියාව ලැබේවි.” DTW International පුද්ගලික සමාගමේ සභාපති අර්වින් වීරසිංහ මහතා පැවසී ය.

    පෙරළිකාරී හරිත නිෂ්පාදනයක් වන Natular DT සඳහා 2010 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ නියෝජිතායතනය වෙතින් ජනාධිපති හරිත රසායන විද්‍යා සම්මානය හිමි විය. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ රජය මගින් පිරිනමන ඉහළම තලයේ පාරිසරික සම්මානයක් ලෙස සැලකේ. මෙම වර්ගයේ වෙනත් කිසිදු නිෂ්පාදනයකට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි Natular DT, මදුරුවන් බෝවීම පාලනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇත.

    “මෙය ඇමරිකා එක්සත් ජනපදයේ Clarke-Public Health Mosquito Control and Aquatic Services සමාගමේ නිෂ්පාදනයක් වන අතර එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මෙයට අනුමැතිය ලබාදීමට පෙර, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ සම්බන්ධයෙන් සායනික පර්යේෂණ පැවැත්වූවා. ඒ නිසා, 'Natular DT' යනු ඔබේ සහ ඔබගේ වටාපිටාවේ ආරක්ෂාව තහවුරු කිරීමට මහෝපකාරී වන නිෂ්පාදනයක් බව අපට විශ්වාසයෙන් යුතුව පැවසීමට පුළුවන්.” අර්වින් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

    කෘෂිකර්මාන්තය සහ මහජන සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ට විවිධාකාරයේ විසඳුම් සැපයීම සඳහා DTW International පුද්ගලික සමාගම දශක දෙකකට අධික කාලයක් තිස්සේ UPL සමග ක්‍රමෝපායික වශයෙන් එක්ව කටයුතු කර තිබේ.  එමෙන්ම එම සමාගම තවත් ක්ෂේත්‍ර කිහිපයකට ක්‍රමෝපායික සැපයුම් විසඳුම් පිරිනමයි. ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ පිහිටා ඇති UPL සමාගම, ලොව 5 වැනි විශාලතම භෝග ආරක්ෂණ විසඳුම් නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන අතර, නව පරිසර ආරක්ෂණ විසඳුම් ක්ෂේත්‍රය පුළුල් ලෙස ආවරණය කරමින් සිටී. මෙම සමාගම් දෙක අතර පවතින හවුල්කාරීත්වය නිසා, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට නිර්මාණශීලී විසඳුම් රාශියක් හඳුන්වා දීමට හැකියාව ලැබී තිබේ.