Ex-Pack Corrugated Cartons සමාගම ලෝක කාන්තා දිනය නිමිත්තෙන් සේවක මානසික යහපැවැත්මට ප්‍රමුඛතාව සලසයි

    March, 22, 2023

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි තම නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-Pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ, ඒ වෙනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදුවිය. තුන්සියයක් පමණවන එහි කාර්යමණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (Diversity, Equity, inclusion) ප්‍රතිපත්ති සහිත සක්‍රීය පරිසරයක් සහතික කිරීමට සමාගම සිදුකරනු ලබන වැඩසටහන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

    මානසික යහපැවැත්ම අතින් පුරුෂයින්ට වඩා කාන්තාවන් බහුල ලෙස බලපෑමට ලක්ව ඇති බව ගෝලීය වශයෙන් සිදුකරන ලද බොහෝ අධ්‍යයන හරහා තහවුරු වී තිබේ. එබැවින් මෙම වැඩසටහන අතරතුරදී කාර්යමණ්ඩල සාමාජිකාවන්ගේ ජයග්‍රහණ, ජීවිත කතා මෙන්ම අතිශය වැදගත් නව දැනුම, තොරතුරු, කළ යුතු දෑ ආදී වශයෙන් කාන්තාවන්ගේ භුමිකාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් අපගේ දෑස් විවිර කරවන දෑ මෙම වැඩසටහනේදී කතාබහට ලක්විය. තව ද මානසික යහපැවැත්ම පවත්වාගැනීමේදී වැදගත්වන හැඟීම් සහ සමාජයීය පැතිකඩ කෙරෙහි ද අවධානය යොමුවිය.

    මෙවර ජගත් කාන්තා දින සැමරුමේ තේමාව වී ඇත්තේ #EmbraceEquity (සමානතාව වැළඳගනිමු) යන්නයි. ශ්‍රී ලංකාව තුළ corrugated cartons නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Ex-Pack Corrugated Cartons සමාගම දෙස් විදෙස් පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇසුරුම් නිෂ්පාදන විසඳුම් සම්පාදනයේ නියැළී සිටියි. එය Aberdeen Holdings පුද්ගලික සමාගමේ අනුබද්ධිත සමාගමකි. සාම්ප්‍රදායිකව පුරුෂ මූලික කර්මාන්තයක නිරතව සිටිය නමුදු, Ex-Pack Corrugated Cartons සමාගම ස්ත්‍රී පුරුෂ සමානතාව වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියි.

    ″#EmbraceEquity යන තේමාවත් සමඟ අපගේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට අපට හැකියාව ලැබීම විශාල අභිමානයක්. හුදෙක් සමාන අවස්ථා ලබාදීමෙන් ඔබ්බට ගොස්, සියලු දෙනා සමඟ සක්‍රීයව අපගේ දක්ෂ කාන්තා කාර්යමණ්ඩලයට අවශ්‍ය සියලු සම්පත් ලබාදෙමින්, ඔවුන්ට වෘත්තීය මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින් ද සාර්ථක වීමට අපි සහාය වෙනවා″, යනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සුල්ෆිකාර් ගවුස් මහතා ප්‍රකාශ කළේය.

    Ex-Pack Corrugated Cartons සමාගම දිගු කලක් තිස්සේ සමාන වෘත්තීය අවස්ථා ලබා දීමට මෙන්ම සහ ස්ත්‍රී සහ පුරුෂ දෙපිරිසටම සමාන ලෙස ගෞරවය, ත්‍යාග සහ පාරිතෝෂික ලබාදීමට කටයුතු කර ඇත. සමාගම සියලුම සේවකයින් පිළිබඳව විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද කැපීපෙනේ. කාන්තාවන් සහ ඔවුන්ගේ ශක්තීන් සමාගමට සේම සමස්ත ආර්ථිකයටම තීරණාත්මක බව නිවැරදිව හඳුනා ගනිමින් කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් සමාගමේ ඉහළ නායකත්වයෙන් සෘජු සහායක් හිමිවේ.

    ස්ත්‍රී පුරුෂ භේදය සහ වෙනස් කොට සැලකීම කෙරෙහි කිසිදු ඉඩක් නොදෙන සමාගම, රැකියා ස්ථානයේදී කාන්තාවන්ට ගර්හා සහ නින්දා කිරීම් ආදිය තුළින් ඔවුන් තුළ දරුණු දිගුකාලීන බලපෑම් ඇතිවන බව වටහා ගනිමින් එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට ද පියවර ගෙන ඇත. තම ආගම, වාර්ගිකත්වය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික කැමැත්ත, සම්මතයන් සහ විශ්වාසයන් ආදිය නොතකමින් සෑම පුද්ගලයෙකුටම හඬක් ඇති විවිධත්වය අගයන සේවා ස්ථානයක් ලෙස සමාගමට ඉතා ඉහළ පිළිගැනීමක් හිමිව තිබේ.

    Ex-Pack Corrugated Cartons සමාගම ආසියාවේ හොඳම සේවා ස්ථාන සහ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට අඛණ්ඩව ශ්‍රේණිගත වී ඇත. සිය ව්‍යාපාරය පුරා තිරසාර භාවිතයන් වැලඳගැනීමේ අඛණ්ඩ ප්‍රගතිය වෙනුවෙන් සමාගමට පසුගිය වසරේ Carbon Neutral සහතිකය ද හිමිවිය. සමාගම NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන මෙන්ම ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතිකවලින් පිදුම් ලබා ඇත.

    සේයා රූ:

    1. Ex-Pack හි දක්ෂ කාර්යමණ්ඩල සාමාජිකාවෝ
    2. Ex-Pack කාර්යමණ්ඩල සාමාජිකාවෝ පිරිසක් කාන්තා දිනය සැමරීමට එක්වෙමින්