Exclusive -පිටත වටරවුම් මාර්ගයෙන් කඩවත දක්වා යා හැකි දිනය මෙන්න

    April, 29, 2015

    දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ අවසන් කර ලබන මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග පැවසීය.

    ඔහු සඳහන් කළේ මෙම මාර්ගය ගොඩනැගීම පිළිබඳව නව රජයට ප්‍රශ්නයක් නොතිබූ බවත් ප්‍රශ්නය තිබුණේ මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබුණු පිරිවැය පිළිබඳව බවයි.

    මේ අනුව, මෙම මාර්ගයේ දෙවන අදියර මැයි මාසයේ අවසානයේ විවෘත කරන අතරම තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩ ලබන මැයි මාසය මැදදී ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    තෙවන අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.6 ක් වන බවත් ඉන් සියයට 95 ක් චීනයේ එක්සිම් (EXIM) බැංකුවේ ණය මුදලක් මගින් ලබාගන්නා බවත් රජය පසුගියදා සඳහන් කළේය.
    මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවෙමින් තිබෙන අතර ඒ සඳහා ගෙවිය යුතු වන්දි මුදල රුපියල් බිලියන 1.1 ක් බව සඳහන්ය.
    මෙම ව්‍යාපෘතියේ තාක්ෂණ සහ මූල්‍ය කරුණු ඇගයීම සඳහා පත්කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි මෙම කොටසේ වැඩ ආරම්භ කරන්නේ සංශෝධන සහිතව බව රජය සඳහන් කර තිබේ.

    මෙහි තෙවන කොටස ආරම්භ කිරීම සඳහා පසුගිය රජය සමයේ ණය ගිවිසුමට අත්සන් කළේ එවක භාණ්ඩාගාර ලේකම්වරයා වූ ආචාර්ය පී.බී.ජයසුන්දර සහ චීන ආනයන-අපනයන බැංකුවේ සභාපති Li Ruogu විසින් කොළඹදීයි.

    මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.

    පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.