Flash ඩිජිටල් බැංකු ගිණුම වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස නම් කෙරේ

    September, 13, 2021

    කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ - සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය.

    බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව ලබා දෙන ෆ්ලෑෂ් බැංකු ගිණුම, සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා මෑතකදී සිදු කළ නවෝත්පාදනයන් අගයමින් මෙම සම්මානය ලබා දෙනු ලැබිණි.

    2020 වසරේ දී කොම්බෑන්ක් ෆ්ලෑෂ්, වෙළෙඳපොලේ මීට පෙර කිසි දිනෙක දක්නට නොතිබූ පෙරළිකාර අංගයන්ගෙන් උසස් කෙරිණි. මූල්‍ය ගණුදෙනු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද ‘පරිසර බලපෑම් දර්ශකය’ සමඟ ඒකාබද්ධව ‘කාබන් පා සටහන්’ ගණකය භාවිතා කර, පරිශීලකයෙකු යෙදුම හරහා සිදු කරන සෑම ගනුදෙනුවක්ම තක්සේරු කිරීමෙන් පරිභෝජනයේ සමාජයීය කාබන් පා සලකුණ පිළිබඳ අවබෝධය වැඩි කරන ‘පරිසරය සුරකින්න’ විශේෂාංගය ද මෙයට ඇතුළත් ය. එමෙන්ම වියදම් විස්තරාත්මකව වර්ගීකරණයක් සමඟ නිරීක්ෂණය කිරීමට හැකියාව ලබාදෙන පුද්ගලික මූල්‍ය කළමනාකරණ මෙවලමක් ලෙස ක‍්‍රියා කරන ‘Advanced Budgeting’ අංගය ද මෙයට ඇතුලත්ය.

    තවද, යෙදුම ක්ෂණික ප‍්‍රතිචාර ගෙවීමේ මොඩියුලයකින් සමන්විත අතර එමඟින් පරිශීලකයින්ට  ඕනෑම වෙළෙන්දෙකුගේ LANKAQR කේතයක් ස්කෑන් කිරීම මඟින් මිලදී ගැනීම් වෙනුවෙන් තම ගිණුමෙන් වෙළෙන්දාගේ ගිණුමට සෘජුවම ගෙවීම් කළ හැකිය.

    කොම්බෑන්ක් ෆ්ලෑෂ් යෙදුමේ අනෙකුත් වැඩිදියුණු කිරීම් අතරට පික්මී ඇප් QR සමඟ ඒකාබද්ධ වීම, ගෙවීම් සහ රිසිට්පත් පහසුකම් සහිත ෆ්ලෑෂ් ඊ-ප‍්‍රකාශන හඳුන්වා දීම සහ ෆ්ලෑෂ් ගනුදෙනු සඳහා, ඊ මේල් සහ වට්ස්ඇප් හරහා බෙදා ගැනීමේ විකල්පයක් සහිත සවිස්තරාත්මක ඊ-රිසිට්පත් ඇතුළත්ය.

    ෆ්ලෑෂ් ටොප්-අප් කිරීම සහ ගෙවීම් සිදු කිරීම සඳහා  ඕනෑම බැංකු ගිණුමක් එක් කිරීමට ඉඩ සලසන ‘ජස්ට් පේ’ හඳුන්වාදීම ද, මුල් පිටු මෙනුවේ ‘My Payees’ සහ ‘My Billers’ යන අංශ එකතු කිරීම ද මෙම නව වැඩිදියුණු කිරීම්වලට ඇතුළත්ය. තවද, බැංකුව ෆ්ලෑෂ් සඳහා www.flashbank.lk නව වෙබ් අඩවිය දියත් කළේය.

    මෙම යෙදුම ක්‍රෙඩිට් කාඞ්, පුද්ගලික ණය, නිවාස ණය, කල්බදු සහ අධ්‍යාපන ණය ඉල්ලීම් සිදු කළ හැකි ‘Flash Finance SPACE’ අංගයෙන්ද සමන්විතය.

    පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.