Golden Awards තරු තුනේ සම්මානයෙන් සිරාජ් මෑන් පවර් සර්විසස් පිදුම් ලබයි

    May, 22, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන සිරාජ් මෑන් පවර් සර්විසස් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සංවිධානය කළ The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී සිරාජ් මෑන් පවර් සර්විසස් කළමනාකරණ අධ්‍යක්ෂ සිරාජ් කෆූර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

    2002දී ඇරැඹූ සිරාජ් මෑන්පවර් සර්විසස් (www.sirajmanpower.lk) වසර 20කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ඇත. කුවේට්, කටාර්, ඩුබායි, සෞදි ආදී මැද පෙරදිග රටවල සහ මැලේසියාවේ ගෘහ සේවිකා, රියදුරු, සනීපාරක්ෂක සේවක, කම්කරු ආදී රැකියා මෙන්ම ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත රැකියාද සිරාජ් මෑන්පවර් සර්විසස් මෙරට ශ්‍රමිකයන්ට පිරිනමා ඇත. මෙම සියලුම ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහතික කළ අනුමත වැටුප් තල හිමි වේ.    “අපගේ ආයතනය හරහා විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප සෑම විටම පෙනී සිටිනවා. ශ්‍රමිකයන් එළඹුණු කොන්ත්‍රාත්තුවලට අදාළව ඇති වන ගැටලු විසඳා දීමට අප කටයුතු කරනවා. මෙහිදී මම විදේශ ගත වන ශ්‍රමිකයන්ට විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. එනම් ඔබ රැකියා කිරීම සඳහා පමණක් විදේශ ගත වන්න. මහන්සි වී වැඩ කිරීමට හැකි නම් පමණක් විදේශ ගත වන්න. ඔබ විදේශ ගත වන්නේ සැළකිය යුතු මුදලක් උපයා ගෙන පවුලේ දියුණුව ළඟා කර ගැනීමට බව විශේෂයෙන් මතකයේ තබා ගත යුතුයි.” සිරාජ් කෆූර් මහතා පැවසීය.