Google වර්ණ හතරේ අළුත් ලාංඡනයක් එළි දැක්වූයේ ඇයි?

    September, 2, 2015

    ලොව ප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් වර්ණ හතරකින් යුතු නව ලාංඡනයක් එළිදක්වා තිබෙන අතර ගූගල් සෙවුම් යන්ත්‍රයට පිවිසෙන විට පැරණි ලාංඡනය මැකී නව ලාංඡනය දිස්වන ආකාරය මේ වනවිට දැකගත හැකිය.

    සමාගම පවසා තිබෙන්නේ මෙම නව ලාංඡනය සමාගමේ සියළුම නිෂ්පාදන සඳහා ළඟදීම අදාළ කර ගන්නා බවයි.

    පසුගිය වසර 17 තුළ සමාගම බොහෝ දේවල් වෙනස් කළ බවත් මෙම නව ලාංඡනය හඳුන්වා දී තිබෙන්නේ ජංගම දුරකතනය තුළින් ගූගල් වෙත පිවිසෙන ප්‍රජාවට වඩාත් පහසුවීම සඳහා බවත් සඳහන්ය.

    මේ වනවිට, ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වැඩි පිරිසක් ජංගම දුරකතනය ඔස්සේ පිවිසෙන බව සමාගම සඳහන් කර තිබේ.

    මෙම නව ලාංඡනය විවිධ ප්‍රමාණයේ පරිගණක සහ ජංගම දුරකතන වලදී හොඳින් ක්‍රියා කරන බව ගූගල් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මීට මාසයකට පමණ පෙරදී ගූගල් සමාගමේ තුළ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ අතර ගූගල් මේ වනවිට අයත් වන්නේ Alphabet නැමති මව් සමාගමටයි.