කොළඹ මොනෝරේල් ගැන ජපාන සමාගමක් බලාපොරොත්තු දල්වයි

    September, 7, 2014

    කොළඹ නගරයේ මොනෝරේල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වනබව මොනෝරේල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Hitachi Monorail System සමාගම අද පස්වරුවේ කොළඹදී පැවති ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී සඳහන් කළේය.

    ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සමග මෙරටට පැමිණි ඉහළ ව්‍යාපාරික ධූත පිරිසට අයත්වූ Hitachi Monorail System සමාගමේ නියෝජිතයා මෙහිදී අවධාරණය කළේ මොනෝරේල් යනු පරිසර හිතකාමී කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් බවයි.

    කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක පමණ වියදමකින් මොනෝරේල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා වන ශඛ්‍යතා අධ්‍යනය (Feasibility Study) අවසන් කර ඇත.

    මෙහි පළමු අදියර සඳහා අරමුදල් ලබාදීමට සූදානම් වන්නේ ජපානයේ ජයිකා ආයතනයයි. මොනෝරේල් කිලෝ මීටරයක් ගොඩනැගීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 57 ක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ.

    මෙම ශඛ්‍යතා අධ්‍යනයට අනුව මෙම මොනෝරේල් ව්‍යාපෘතිය සිදුකරන්නේ මාලඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත, ජාතික රෝහල, යුනියන් පෙදෙස, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ කොටුව හා කොටහේන යන ප්‍රදේශ ආවරණය වන පරිදියි.

    කොල්ලුපිටියේ සිට ජාතික රෝහල දක්වාත් මොනෝරේල් මාර්ගයක් ඉදිකිරීමට මෙහිදී සැලසුම් කර ඇත.

    දෙවන අදියරේදී මොනෝරේල් මාර්ගය කොටහේනේ සිට කැළණිය දක්වා දීර්ඝ කිරීමට අදහස් කර තිබේ.

    මොනෝරේල් ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කිරීමට වසර 08 ක් පමණ කාලයක් යනු ඇතැයි ගණන් බලා ඇත.