HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන වෙතින් IDH රෝහලට අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක්

    July, 27, 2021

    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා බැංකුව ලබා දෙන සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් බැංකුවේ ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන හරහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සඳහා අති නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක් පසුගියදා පරිත්‍යාග කළේය.

    රුපියල් මිලියන 7.5ක වටිනාකමින් යුතු මෙම නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය රෝහලේ කොවිඞ්-19 හා අනෙකුත් බෝවන රෝග සම්බන්ධව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා මූලික වශයෙන් යොදා ගැනීමට නියමිතය. HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ මහතා විසින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා හා විකිරණවේදී විශේෂඥ වෛද්‍ය, කිෂානි අබේවර්ධන මහත්මිය වෙත මෙම අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය පිරිනමන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වන HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා ‘‘අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ එඩිතර හා කාර්යක්ෂමතාවයේ ඍජු ප‍්‍රතිඵලයක් ලෙස කොවිඞ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීමට හැකිව තිබෙනවා. එහිදී IDH රෝහල් කාර්ය මණ්ඩලයේ සුවිශේෂ කැපවීම විශේෂයෙන්ම මතක් කළ යුතුයි. දැනට පවතින කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා කටයුතු කරන මෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාව පළ කරනවා. HNB සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුවට කටයුතු කර තිබෙන අතර ඉදිරියට ද අඛණ්ඩව එම ක්ෂේත‍්‍රයේ දියුණුවටත් IDH රෝහලට උපකාර කිරීමටත් බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් සඳහන් කළේය.

    පසුගිය වසරේ කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟම බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡුාවෙන් ලබා දෙමින් මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන සඳහා අරමුදල් සපයා දෙනු ලැබීය. HNB හි තිරසාර පදනම විසින් එය මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

    කොවිඞ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB විසින් දිවයිනේ ප‍්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වෙත අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල ලබා දීමට කටයුතු කළේය.

    විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ HNB තිරසාර පදනම සමඟින් මේ වසර මුලදී මෙරට සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 20 ක් ප‍්‍රදානයක් ද ලබා දුන්නේය.

    ‘‘HNB හි තිරසාරභාවය පිළිබඳ උපායමාර්ගික අවධානය කාලයට ගැලපෙන ලෙස වෙනස් වෙමින් මේ දක්වා පැමිණ තිබෙනවා. තිරසාරභාවය පිළිබඳ සංකල්පය බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය තුළට කාවද්දා තිබීම නිසා ආයතනික සමාජ වගකීම (CSR) පිිළිබඳව සැලකීමේදී HNB කාර්ය මණ්ඩලය ඒවා සඳහා ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත් වීම කැපී පෙනෙන වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් HNB Chief Transformation Officer/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

     

    HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා විසින් අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා හා විකිරණවේදී විශේෂඥ වෛද්‍ය, කිෂානි අබේවර්ධන මහත්මිය වෙත පිරිනමමින්. (වමේ සිට) IDH  වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රිද්මි සමරසිරි, IDH හෘද රෝග විශේෂඥ වෛද්‍ය, අජිත් දිසානායක, IDH විශේෂඥ වෛද්‍ය ඒ. ජී. එස්. ආසිරි, IDH වෛද්‍ය නිලධාරී, අසාද් සමාද් සහ HNB Chief Transformation Officer/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, චිරන්ති කුරේ, HNB පහසුකම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, රොෂාන් ප‍්‍රනාන්දු, HNB CHRO/මානව ප‍්‍රාග්ධන හා බැංකු සේවා සහකාර සාමාන්‍යාධිකාරී, ඉන්ද්‍රිත් සේනාධීර, HNB තිරසාර ව්‍යාපාර ව්‍යාපෘති ප‍්‍රධානී, වී. දිශාරත්නම් සහ HNB තිරසාර ව්‍යාපාර ප‍්‍රධානී, ශනෙල් පෙරේරා යන මහත්ම මහත්මීන් ද ඡුායාරූපයේ සිටී.