HNB FINANCE PLC දෙවැනි වරටත් Asia’s Best Large Workplaces අතරට

    September, 15, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC මෙම වසරේදීත් අඛණ්ඩව පස්වන වරට ශ්‍රී ලංකාවේ මෙන්ම දෙවැනි වරට ආසියාවේම සේවය සඳහා සුදුසු විශිෂ්ටතම විශාල පරිමාණයේ ආයතන කාණ්ඩය අතරට එක් විය. එමෙන්ම වසය අවුරුදු 23ත් 38ක් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ සේවක සේවිකාවන් සඳහා මෙරට සේවය කිරීමට සුදුසුම ආයතන 15 අතරට ^15 best work places for millennials in Sri Lanka 2021&) නම් කරන ලදි.

    Great Place to Work ජාත්‍යන්තර ආයතන මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් 40 ක නාමාවලිය අතර ස්ථානගත වීමට HNB FINANCE සමාගමට හැකි විය.

    මුළු මහත් සමාජයටම පෙර නොවූ විරූ අයුරින් අභියෝග එල්ල කළ ගෝලීය වසංගතයක් පවතින සමයකත් තම කටයුතු නොසැලී ඉදිරියට පවත්වාගෙන යන HNB FINANCE සිය සේවාවන් උසස් අන්දමින් පවත්වාගෙන යෑම සඳහා කැපවීමෙන් කටයුතු කරන තම සේවකයින්ගේ යහපත සහතික කිරීම සඳහා නැවත නැවතත් උත්සහ ගෙන ඇති බව මෙම ඇගයීම තුළින් මනාව පිළිබිඹුවේ.

    “කොරෝනා වෛරසය ලොව පුරා සෑම අංශයක් කෙරෙහිම අහිතකරව බලපාන වාතාවරණයක් තුළ අප ආයතනය මෙවැනි පිළිගැනීමක් ලබා ගැනීම තුළින් සැබැවින්ම පෙන්නුම් කෙරෙන්නේ අපගේ ශ්‍රම බලකාය සක්‍රීය කිරීමට සහ සවිබල ගැන්වීමට ආයතනය විසින් සිදුකළ මෙහෙවර ඇගයීමට ලක්ව ඇති බවයි. සේවකයින්ට විශ්වාසදායී සේවා පරිසරයක් ගොඩනැගිය හැකිනම් අතිවිශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයක් ඕනෑම ව්‍යාපාරයකට ළඟා කර ගත හැකි බව අපි තරයේ විශ්වාස කරන සත්‍යයක්. අපගේ සේවා සංස්කෘතියෙහි ගුණාත්මක හා අසමසම බව මේ ඇගයීම් මගින් වඩාත් තහවුරු වෙනවා” යනුවෙන් HNB FINANCE PLC  කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා අදහස් දැක්වීය.

    පසුගිය වසර මුලදී දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වීමත් සමඟම, සේවක අවශ්‍යතා සපුරාලීම සඳහා නම්‍යශීලී සේවා කාලසටහන් හදුන්වාදීම මෙන්ම ධූරාවලියේ ස්වාභාවය අනුව නිවසේ සිට වැඩ කිරීම වැනි කාලෝචිිත වෙනස්කම් සිදුකරමින් ආයතනික කටයුතු ශක්තිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලදි. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතාමත් සුලු සේවකයින් පිරිසක් අත්‍යවශ්‍ය වැඩ කටයුතු සදහා වාර්තා කළේය.

    සියලුම සේවකයින්ගේ මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා සමාගම ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ අතර සේවකයින් පුහුණු කිරීම, තාක්ෂණය භාවිතා කිරීම සඳහා උපදෙස් ලබා දීමේ සැසි සහ ආයතනික රැස්වීම් සියල්ල මාර්ග ගත ආකාරයට ^Online& සිදු කෙරිණ , කොරෝනා වෛරසයෙන් සෘජුවම බලපෑමට ලක් වූවන්ට ආධාර කරන ලදී. මුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේම ක්‍රියාකාරිත්වය පසුබෑමක් තිබුනද, සේවක ප්‍රතිලාභ කිසිවක් කප්පාදු නොකිරීමට HNB FINANCE වග බලා ගන්නා ලදි.

    දැනට සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සවිබල ගැන්වීම මෙන්ම HNB FINANCE ශ්‍රම බලකායේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා වූ නව නිෂ්පාදන ඇති කිරීම වේගවත් කළ අතර, මෙම දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අතිරේක මූල්‍ය පහසුකම්, පුහුණුව සහ සංවර්ධන සහයෝගය ද ලබා දෙන ලදි.

    HNB FINANCE සෑම විටම විවිධ මතයන් දරණ, විවෘත හා සංවිධිත වෘත්තිමය සංස්කෘතියක් පෝෂණය කරමින් අඛණ්ඩව ජාත්‍යන්තර මට්ටමේ සේවා යෝජකයෙකු ලෙස එහි කීර්ති නාමය තහවුරු කර ගෙන ඇත.

    HNB FINANCE 2017 දී ප්‍රමුඛ සේවා යෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වූවා සේම 2017 දී හොදම සේවා පරිශ්‍රය සඳහා වූ ලෝකඩ සම්මානය දිනාගත්තේය. 2018 දී මහාපරිමාණ ව්‍යවසායකත්වය  සඳහා රිදී සම්මානය හිමිකර ගත් අතර 2017 දී එහි ශ්‍රම බලකාය  උදෙසා වූ Pride and Advocacy විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. 2019 දී, ආසියාවේ සමාගම් අතරින් ඉහළම ස්ථාන 25 අතරට ඇතුළත් වූ ශ්‍රී ලාංකික එකම මුල්‍ය ආයතනය ලෙස  HNB FINANCE සිය නාමය සනිටුහන් කරන ලදි. 2020 දී මහ පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන 40 අතරට පැමිණීමට සහ ලෝකඩ පදක්කම ද දිනාගැනීමට  HNB FINANCE සමත් විය.

    Great Place to Work සංකල්පය තුළ සේවා ස්ථාන සංස්කෘතිය, සේවක පළපුරුද්ද සහ නායකත්ව හැසිරීම් යන සාධක ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යා හැකිනම් ඉහළ පිරිවැටුමක් ලබාගත හැකිවනවා සේම සේවාවන්ගේ නවෝත්පාදනයන්ද ඉහළ නංවා ගත හැක. Great Place to Work ඇගයුම් ක්‍රියාවලිය තුළ සමාගමේ සේවකයින් ස්වාධීන ඇගයුම් ක්‍රියාවලියකට යොමු කරන අතර සේවකයින් සමාගම පිළිබඳව දක්වන විශ්වාසය, සේවක සමීක්ෂණය සහ සංස්කෘතික විගණනය යන අදියරයන්ගෙන් මෙම ඇගයුම් ක්‍රියාවලිය සමන්විත වේ. ස්වාධීනව සහ අපක්ෂපාතීව සේවකයින් විසින් සිය සමාගම පිළිබඳව දක්වන ආකල්පය අනුව සමාගම් මෙම සම්මානය සඳහා තෝරා ගැනේ.