Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් සලසාදීමට HNB, Abans Auto සමඟ අත්වැල් බැඳගනී

    August, 12, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම වෙනුවෙන් Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. මේ තුලින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු මූල්‍ය විසඳුම් සලසා ගනිමින් Hyundai වාහනයක් තමන් සතු කර ගැනීමට අවස්ථාව උදා වේ.

    ඒ අනුව මෙම හවුල්කාරිත්වය යටතේ දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නම්‍යශීලී සහ තරඟකාරී ලීසිං විසඳුම් හරහා Hyundai වාහන මිලදී ගැනීමට පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාරවලටද අවස්ථාව සැලසේ.  තවද, වාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සහ වාහනය භාවිත කරන කාලය පුරා එහි වටිනාකමක් ඉහළ නැංවීම මගින් මෙරට ප්‍රවාහන පද්ධතියේ වර්ධනයට ද මෙය දායක වේ.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් හා කඩිනමින් වාහනයක් මිලදී ගැනීමේ හැකියාව උදාකර දීම සඳහා HNB සතු අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරීත්වය තුලින් මනාව පිළිබිඹු වෙනවා. Abans Auto පුද්. සමාගම සමඟ සමීපව කටයුතු කිරීම හරහා, ක්‍රමවත් ලීසිං සේවාවන්, නම්‍යශීලී මූල්‍ය විසඳුම් සහ විශ්වසනීය සේවා සහාය තුලින් පාරිභෝගිකයා වෙත සැලසෙන සේවාවන් තවදුරටත් ඉහළ නැංවීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙහිදී පාරිභෝගිකයින්ගේ අනාගත බලාපොරොත්තු මෙන්ම ඔවුන්ගේ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය සුරැකෙන අයුරින් විසඳුම් ලබාදීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.” යනුවෙනි.

    මෙම සහයෝගීතාව යටතේ HNB විසින් විශේෂ පොලී අනුපාත සමඟින් සුවිශේෂී ගෙවීමේ ක්‍රමයන් රැසක් Hyundai පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇත. ඒ අනුව මෙහිදී වසර තුනක් දක්වා වූ ලීසිං කාල සීමාව සඳහා වන අවශේෂ වටිනාකම් විකල්පය මෙන්ම, වසර හතරේ සිට පහ දක්වා වූ ලීසිං කාල සීමාව සඳහා වන අවශේෂ වටිනාකම් විකල්පයන්ද ඇතුළත් විධිමත් ගෙවීම් ක්‍රමවේදයන් සමඟින් විශේෂ පොලී අනුපාත හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. පාරිභෝගිකයන්ගේ පුද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වසර 7ක් දක්වා දිගු කාලීන වාරික ගෙවීමේ පහසුකම් අත්විඳීමටද මේ හරහා අවස්ථාව උදා කර ගත හැකි වීම විශේෂත්වයකි. මීට අමතරව පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්‍රෙඩිට් කාඩ්පතක් සහ HNB General Insurance වෙතින් සහනදායී විශේෂ වාහන රක්ෂණ වාරික පහසුකම් ද සලසා ඔවුන්ට හිමි වේ.