ICT හදාරන අඩු ආදායම්ලාභී උසස් පෙළ සිසුන් 5,000කට මූල්‍යාධාර

    March, 5, 2024

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ඇති කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනය වැඩිදියුණු කිරීම තුළින් විදුලි සංදේශ කර්මාන්තය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇති අතර විදුලි සංදේශ කර්මාන්තයේ තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය නිපුණ වෘත්තිකයන් බිහි කිරීම සඳහා එමඟින් හැකියාව ලැබෙනු ඇත.
    බලපත්‍රලාභීන්ගෙන් අයකරනු ලබන විදුලි සංදේශ සංවර්ධන ගාස්තුවෙන් 50%ක් විදුලි සංදේශ කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා භාවිත කිරීමට හෝ ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බලය පැවරී තිබේ.
    ඒ අනුව, අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස උගන්වනු ලබන පාසල් 1,000ක් වෙත අවශ්‍ය උපකරණ විදුලි සංදේශ සංවර්ධන ගාස්තු අරමුදලේ ප්‍රතිපාදන මඟින් ලබා දීමට හැකි වන පරිදි "සුහුරු පාසල් ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීමටත්, ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහාය ඇතිව අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් 5,000කට මූල්‍යාධාර ලබා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා; සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.