IDEAL Finance නව ශාඛාව කඩවතදී විවෘත කෙරේ

    January, 7, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන IDEAL Finance Limited (IFL) හි නවතම ශාඛාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ මෙන්ම පොදුවේ බස්නාහිර පළාත තුළ වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 2021 දෙසැම්බර් 10 වන දින, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලද උත්සවයකදී මෙම නව ශාඛාව විවෘත කරන ලදි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, IDEAL Finance හි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා මෙසේ පැවසී ය. “අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩවත ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීම, අපගේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. 2022 වසරේ මාර්තු මාසය වනවිට අපගේ ආවරණ පරාසය දෙගුණයකින් වැඩිකර ගනිමින්, දිවයිනේ ප්‍රධාන නගර රැසක ශාඛා විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩවත ප්‍රදේශයේ විවෘත කළ මෙම නව ශාඛාව මගින් එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අපගේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වේවි. කණ්ඩායමක් ලෙස එකට එකතු වී, අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් නව අවස්ථාවන් උදාකර දීම අපගේ ඉලක්කයයි. මෙමගින් අපගේ කාර්ය මණ්ඩලයට ආයතනය තුළ තම අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. මෑතකදී අඛණ්ඩව 3 වන වරටත්, මෙරට රාජකාරි කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස Great Place to Work ඇගයීම දිනාගැනීමට අපට හැකියාව ලැබුණා. මේ ආකාරයට ශාඛා ජාලය පුළුල් කරන අතරම, අනාගත අභියෝග වලට මුහුණ දීමට හැකිවන ආකාරයට අපගේ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප පියවර ගන්නවා.”

    Mahindra and Mahindra Financial Services සමාගම IDEAL Finance හි ආයෝජනය කිරීමට සමගාමීව IDEAL Finance ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ කටයුතු ආරම්භ විය. 2020 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ, පියවර කිහිපයක් යටතේ සිදු වූ සෘජු විදේශ ආයෝජනයක් වන මෙම ගනුදෙනුවේ මුල් අදියර යටතේ Mahindra and Mahindra Financial Services සමාගම විසින්  IDEAL Finance හි කොටස් 38.2% ක් තමන් වෙත පවරා ගන්නා ලද අතර, එහි අවසන් අදියරේදී මෙය 58.2% දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව මෙම සෘජු විදේශ ආයෝජනයේ මුළු වටිනාකම රු. බිලියන 2 ඉක්මවා ඇති අතර, මෙම හවුල්කාරීත්වය හේතුවෙන් මේ වනවිට IDEAL Finance සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 11 කට අධික වත්කම් කළමනාකරණය කරන දැවැන්ත මූල්‍ය සමාගමක ශක්තිය හිමි වී තිබේ.

    තම ශාඛා ජලය ව්‍යාප්ත කිරීමේ සැලසුම, වර්ධන ක්‍රමෝපාය සහ Mahindra and Mahindra Financial Services සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය යනාදී සාධක නිසා, COVID-19 ව්‍යාප්තිය හමුවේ මතු වූ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, 2021 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී, මෙතෙක් වාර්තා කරගත් ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට IDEAL Finance Limited සමත් විය. පෙර වසරට සාපේක්ෂව සමාගමේ බදු-පෙර ලාභය 76% කින් වර්ධනය වී රු. මිලියන 288.4 ක් ලෙස වාර්තා වූ අතර, බදු-පසු ලාභය 74% කින් වර්ධනය වී රු. මිලියන 183.8 ක් ලෙස වාර්තා විය. ක්ෂේත්‍රයේ සාමාන්‍ය තත්ත්වයන්ට ප්‍රතිවිරුද්ධව, සමාගමේ අක්‍රීය ණය අනුපාතය පසුගිය වසරේදී පැවති 5.2% මට්ටමේ සිට මෙම වසරේදී 3.3% දක්වා වර්ධනය වී තිබේ. IDEAL Finance Limited වෙනුවෙන් Mahindra and Mahindra Financial Services සමාගම සිදුකළ ආයෝජනයෙන් අනතුරුව, Fitch Ratings ආයතනය IDEAL Finance Limited වෙත එතෙක් ලබා දී තිබූ ‘BB - (lka)’ශ්‍රේණිය  ‘AA – (lka) with a stable outlook’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේ ය.

    IDEAL Finance Limited (IFL) යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති, බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ග්‍රාමීය සහ අර්ධ නාගරික කාණ්ඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් එම සමාගම 2012 මාර්තු මාසයේදී තම සේවාවන් අරාම්භ කරන ලදි. මේ වනවිට IDEAL Finance සමාගම රන් ණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය, පෞද්ගලික ණය, සහ මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන හා වාණිජ රථවාහන සඳහා කල්බදු (ලීසිං) පහසුකම් වැනි සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. ගුණාත්මක ණය එකතුවක් සමගින් ලාභදායීත්වය අතින් තිරසාර වාර්ෂික වර්ධනයක් අත්පත් කරගැනීමට IDEAL Finance සමාගම සමත් වී ඇත.

    ඡායාරූපය: IDEAL Finance ප්‍රාදේශීය කළමනාකරු නිශාන්ත කන්නන්ගර මහතා සහ IDEAL Finance කඩවත ශාඛාවේ කාර්ය මණ්ඩලය, IDEAL Finance හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක් සමග