ඉන්දීය මෝටර් රථ මිල ඉහළ යන හැඩ. මෙන්න! හේතුව

    January, 2, 2015

    ඉන්දියාව විසින් 2015 වසරේදී මෝටර් රථ, යතුරු පැදි ඇතුළු පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් ලබාදී තිබෙන බදු සහන කපා දැමීමට සූදානම්වීම හමුවේ ඉන්දියාව තුළ එම භාණ්ඩවල මිල ඉහළ යාමේ නැඹුරුවක් පවතින්නේ යැයි වාර්තා වේ.

    ඉන්දීය මුදල් අමාත්‍යංශය පවසා තිබෙන්නේ 2014 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ සමහර තීරු බදු සහනයන් අළුත් කිරීමට පියවර නොගන්නා බවයි.

    මේ අනුව, ඉන්දීය රුපියල් මිලියන 05 ක් පමණ වන සුඛෝපභෝගී මෝටර් රථයක මිල මෙම බදු සහන කපා දැමීම හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 200,000 කින් පමණ එරට තුළ ඉහළ යනු ඇතැයි සඳහන්ය.

    විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ මෙම බදු සහන කපා දැමීම තුළින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඉන්දීය රජය ඉලක්ක කර තිබෙන බවත් මෙම බදු සහන පිරිනැමුවේ එවක පැවති කොංග්‍රස් රජය බවයි.

    මේ වනවිට, බලයේ සිටින මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම බදු සහන දෙසැම්බර් 31 වනදා දක්වා පමණක් ක්‍රියාත්මක කර ඇත.

    මේ අනුව, ඉන්දියාව තුළට ගෙන්වන කුඩා මෝටර් රථයක බදු සියයට 08 ක සිට සියයට 12 ක් දක්වා ඉහළ නැංවෙන අතර විශාල මෝටර් රථවල බදු සියයට 20 ක සිට සියයට 24 ක් දක්වා ඉහළ නැංවෙන බව සඳහන්ය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි සමාගමේ සභාපති, ආර්.සී. භර්ගවා පවසා තිබෙන්නේ මෙම බදු සංශෝධනය නිසා ඉන්දියාව විසින් නිපදවන මෝටර් රථවල මිලද ඉහළ යන බවයි.

    මේ නිසා, ඔවුන්ගේ මෝටර් රථ අලෙවිය පහළ යනු ඇතැයි ඔහු පුරෝකතනය කර තිබෙන්නේ මෙසේයි.

    “මෙම තත්ත්වය අපගේ මෝටර් රථ අලෙවියට කෙටි කාලීනව අහිතකර ලෙස බලපානවා. නමුත්, මම හිතන්නේ ඒ තුළින් දිගු කාලීන අහිතකර බලපෑමක් ඇති නොවනු ඇති බවයි.“

    මෙරට වෙළඳ පොළේද ඉන්දීය මෝටර් රථ සඳහා විශාල ඉල්ලුමක් පවතින නිසා මෙම මිල වැඩිවීම බොහෝ දුරට මෙරට පාරිභෝගිකයින්ටද බලපානු ඇත.