INSEE ලංකා සමාගම ‘Build Sri Lanka 2026’ ප්‍රදර්ශනයේ සමාගම් අනුග්‍රාහකයා ලෙස එක්වෙයි

    May, 19, 2026

    ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන INSEE ලංකා සමාගම, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) සංවිධානය කරන ‘Build Sri Lanka 2026’ නිවාස සහ ඉදිකිරීම් ප්‍රදර්ශනයේ ප්‍රධාන සමාගම් අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව ඇත. මෙම හවුල්කාරිත්වය හරහා නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය, තිරසරභාවය සහ ක්ෂේත්‍රය තුළ සහයෝගීතාව වර්ධනය කරමින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නංවාලීමට INSEE සමාගම දක්වන කැපවීම ද මැනවින් පිළිබිඹු වේ.

    මෙම ප්‍රදර්ශනය 2026 මැයි 22 සිට 24 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මේ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන පාර්ශවකරුවන් මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් ද සහභාගී වීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නව යුගයකට පියවර ඔසවමින් සිටින මේ මොහොතේ, ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන හා සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂීම ඉසව්වක් ලෙස සැලකෙන ‘Build Sri Lanka’ යනු, මෙරට නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, සංවර්ධකයින් සහ නිවාස හිමියන් ඇතුළු සමස්ත ඉදිකිරීම් ජාලයම එකම පරිශ්‍රයකදී එකට මුණගැසෙන දැවැන්ත ප්‍රදර්ශනයකි.

    ක්ෂේත්‍රයේ දැනුම සහ ජනතා අවබෝධය යා කරන පාලමක් බඳු Build Sri Lanka, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබන ප්‍රදර්ශනයකි. එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නිවැරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ද සපයනු ලබයි.

    INSEE ලංකා සමාගමට මෙම ප්‍රදර්ශනය සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවක් මෙන්ම, ශ්‍රී ලංකාවේ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. එපමණක් නොව, මෙම සහභාගීත්වය තුළින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ රටටත් යහපතක් වන පරිදි සංවර්ධනය කරා පිය නඟන්නටත්, සමාජයට සහ පරිසරයට දිගුකාලීන වටිනාකමක් එක් කිරීමටත් සමාගම ඉමහත් කැපවීමෙන් යුතුව ගෙන යන වැඩපිළිවෙළ ද මැනවින් පෙන්නුම් කරයි.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කලින් කලට සිදුවන වෙනස්වීම් මෙන්ම එහි වර්ධනය වන තිරසරභාවය, කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන අවශ්‍යතා සපුරාලීමට INSEE කවදත් සැදී පැහැදී සිටින සමාගමකි. Build Sri Lanka 2026 ප්‍රදර්ශනය සඳහා INSEE ලංකා ලබා දෙන දායකත්වය, හුදෙක් ගොඩනැඟිලි ඉදිකිරීමෙන් ඔබ්බට ගිය, ශක්තිමත් හා වගකීම් සහගත අනාගතයක් ගොඩනැඟීම වෙනුවෙන් සමාගමේ දිගුකාලීන කැපවීම ද විදහා දක්වන්නකි.

    INSEE ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින්, “ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස අපගේ භූමිකාව නැවත වරක් තහවුරු කරමින්, Build Sri Lanka 2026 ප්‍රදර්ශනයේ සමාගම් අනුග්‍රාහකයා ලෙස එක්වීමට ලැබීම අපට ඉතාමත් ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා INSEE සමාගම කවදත් ඉතා කැපවීමෙන් කටයුතු කරන බවට මෙය සාක්ෂියක්.” යනුවෙන් පැවසීය.

    INSEE ප්‍රදර්ශන කුටිය තුළ සමාගමේ ප්‍රධාන සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරින් ප්ලස් සිමෙන්ති ඇතුළු සමස්ත නිෂ්පාදන පෙළ ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, ඊට අමතරව, උසස් තත්ත්වයේ මෝටාර් (Mortar) නිෂ්පාදන සහ රෙඩි-මික්ස් කොන්ක්‍රීට් (Ready-mix concrete) විසඳුම් ද එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එසේම, ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙනුවෙන්ම විවෘත වූ ‘INSEE i2i’ (Innovations to Industry) සහයෝගීතා වේදිකාව ද මෙහිදී හඳුන්වා දීමට නියමිතය. මෙමඟින් නව්‍ය සහ තිරසර සිමෙන්ති හා කොන්ක්‍රීට් ආශ්‍රිත විසඳුම් නිර්මාණය කිරීමටත්, දැනුම බෙදාගැනීමට සහ නිෂ්පාදන පරීක්ෂා කිරීමටත් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට අවස්ථාව සලසා දෙනු ලබයි.

    ප්‍රදර්ශනයට පැමිණෙන අමුත්තන්ට නව්‍ය ඉදිකිරීම් විසඳුම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමටත්, ක්ෂේත්‍රයේ හොඳම ක්‍රමවේදයන් සහ නවීන අමුද්‍රව්‍ය මඟින් ඉදිකිරීම්වල ගුණාත්මකභාවය හා තිරසාරභාවය වැඩිකරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වීමටත් මෙහිදී අවස්ථාව හිමි වනු ඇත. උසස් අමුද්‍රව්‍ය සොයන ගෘහ නිර්මාණ ශිල්පියෙකුට, කාර්යක්ෂමතාව අපේක්ෂා කරන කොන්ත්‍රාත්කරුවෙකුට මෙන්ම තම සිහින නිවස සැලසුම් කරන නිවාස හිමියෙකුට වුවද, දිගුකාලීන විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතියෙන් යුත් විසඳුම් රැසක් INSEE වෙතින් ලබාගත හැකිය.

    වසර 55කට අධික කාලයක් පුරා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැඳී සිටින INSEE ලංකා සමාගම, අඛණ්ඩ නවෝත්පාදනය සහ වගකීම් සහගත වර්ධනය මත සිය ගමන්මග සකස් කරගෙන ඇත. ශක්තිය, කල්පැවැත්ම සහ තිරසරභාවය පිළිබඳ නව ප්‍රමිතීන් ඇති කරමින්, ශ්‍රී ලංකාවට මුල්වරට Portland Composite Cement (PCC) හඳුන්වා දෙනු ලැබුවේ ද INSEE සමාගම විසිනි. එමෙන්ම INSEE නිෂ්පාදන පෙළ, පාරිසරික සහතික (Environmental Product Declarations - EPDs) මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ (NCPC) EcoLabel සහතිකය සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) තරු 5 හරිත ඇගයීමෙන් (5-Star Green Rating) ද පිදුම් ලබා ඇත.

    ඉදිකිරීම් ක්ෂේත්‍රය නව යුගයක් කරා පිය නඟමින් සිටින මේ මොහොතේ, එමඟින් ලැබෙන ප්‍රගතිය හුදෙක් ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ත රටටම දායාද කිරීමට INSEE කවදත් කැපවී සිටී. Build Sri Lanka 2026 ප්‍රදර්ශනයට සහභාගී වීම හරහා සමාගමේ බලාපොරොත්තුව වන්නේ ද හුදෙක් ගොඩනැඟිලි ඉදිකිරීමෙන් ඔබ්බට ගොස්, සමාජයට සහ පරිසරයට දිගුකාලීන වටිනාකමක් එක් කිරීමේ සිය දැක්ම ප්‍රායෝගිකව පෙන්වා දීමයි.