ISB ප්‍රතිව්‍යූහගතකරණය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් – රජයෙන් නිල නිවේදනයක්

    April, 16, 2024

    ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds - ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් සඳහන් කරයි.

    බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සීමාකාරී සාකච්ඡා (restricted discussions) සඳහා බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් (Steering Committee) සහභාගී වී ඇත.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා නීති උපදේශකවරුන් ලෙස  Clifford Chance සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස Lazard එක් වූ අතර බැඳුම්කර හිමියන්ගේ කමිටුව වෙනුවෙන් නීති සහ මූල්‍ය උපදේශකවරුන් වන White & Case සහ Rothschild & Co, පිළිවෙලින් එක් විය. ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන බැඳුම්කරවලින් 50%කට වඩා මෙම කණ්ඩායම හිමිකම් කියනු ලබයි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ දෙපාර්ශවය අතර සාකච්ඡා ඵලදායී ආකාරයෙන් ගොඩනැගී තිබුණ ද ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වූ බවයි. තවද මෙම සීමා කරන ලද සාකච්ඡා සඳහා වෙන් කර තිබූ කාලසීමාව අවසන් වීමෙන් පසු එය නැවත වරක් දීර්ඝ කිරීමට ද බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයින් එකඟ වී නැති බව වාර්තා වේ.

    කෙසේවෙතත් දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කර ගැනීමට ඉදිරි සති කිහිපය තුළ දී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියා සිටියේ, විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අතර ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැනනැඟුණු බවත් එහිදී කරුණු 2ක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වූ බවත් ය.  මෙහි දී එකඟතාවයකට එළඹීමට නොහැකි වූ කරුණු දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම් ඉදිරියේ දී රැස්වීමට නියමිත බවත් එහිදී සුබවාදී පිළිතුරක් බලාපොරොත්තු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.