JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයින් අතර විදුලි වාහන භාවිතය වේගවත් කිරීම අරමුණු කරගත් නව හවුල්කාරිත්වයක්

    May, 12, 2026

    ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත.

    2026 මැයි 04 වනදා සිට ජූලි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, රාජ්‍ය සේවකයින්ට සහනදායී ලෙස නව බලශක්ති වාහන මිලදී ගැනීමට අවස්ථාව සැලසීමයි. ඒ වෙනුවෙන් ක්‍රමවත් මූල්‍ය පහසුකම්, රක්ෂණ සැලසුම් සහ වාහන හිමිකාරීත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අනෙකුත් සේවාවන් රැසක් මෙම වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දී ඇත.

    සමස්ත රාජ්‍ය අංශයේම සේවකයින් වෙනුවෙන් විවෘත මෙම වැඩසටහන, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් පරිසර හිතකාමී මාවතකට ක්‍රමයෙන් යොමු කිරීම සඳහා පෞද්ගලික අංශය සහ රාජ්‍ය ආයතන එක්ව දරන සාමූහික ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.

    මෙම සහයෝගීතාවය යටතේ JKCG Auto විසින් ඔවුන්ගේ BYD සහ DENZA වාහන මාදිලි සඳහා විශේෂ හඳුන්වාදීමේ මිල ගණන්, නිවසේදීම වාහනය charge කර ගැනීමේ පහසුකම් (home charging)සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් වැනි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, ලංකා බැංකුව හරහා අවම ලියකියවිලි ප්‍රමාණයකින් විශේෂ ලීසිං පහසුකම්ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති රක්ෂණ විසඳුම් සහ පාරිභෝගික සේවාවන් ද පිරිනමනු ලබයි.

    මෙම වැඩසටහන සකස් කර ඇත්තේ පාරිභෝගිකයින්ට කිසිදු අපහසුවකින් තොරව නව බලශක්ති වාහන වෙත යොමු වීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්ය. මෙහිදී සම්බන්ධ වී සිටින සෑම ආයතනයකම පවතින සම්මත ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම සේවාවන් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා අදාළ නියමයන් සහ කොන්දේසි බලපැවැත්වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හරිත බලශක්තිය කරා සාර්ථකව පරිවර්තනය කිරීමට නම්, නව බලශක්ති වාහන භාවිතය ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ලබා ගත හැකි විය යුතු බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා. එහි එක් පියවරක් ලෙස දිවයින පුරා අපගේ සේවා ජාලය වාහන ආරෝපණ පහසුකම් ඉහළ නැංවීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම  ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අත්වැල් බැඳ ගැනීම හරහා, ලංකාවේ විශාලතම ශ්‍රම බලකාය වන රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වෙනස සඳහා ශක්තියක් වීමේ අවස්ථාව උදා කර දීමටත් අපි කටයුතු කළා. වඩාත් ලාභදායී ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම යන ප්‍රතිලාභ රටේ ආර්ථික ස්ථාවරත්වයට අතිශයින් වැදගත් වෙනවා,” යනුවෙනි.

    සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට ඉතා පහසුවෙන් වාහනයක හිමිකාරීත්වය ලබාගත හැකි වන පරිදි, ඒකාබද්ධ මූල්‍ය සහ රක්ෂණ විසඳුම් රැසක් මගින් මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර ඇත.

    “ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය බැංකුව ලෙස, නැගී එන නව තාක්ෂණයන් ජනතාවට සමීප කරවන වැඩසටහන් සඳහා අප නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. මෙම හවුල්කාරීත්වය හරහා, වෙනස් වන ප්‍රවාහන අවශ්‍යතාවලට ගැළපෙන සහ ඉතා පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවත් මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කලාප 02 (සංවර්ධන ණය සහ ශාඛා ණය) බී. කේ. ගුරුසිංහ මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරී (සාමාන්‍ය රක්ෂණ) ආසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නිරන්තරයෙන් කැපවී සිටිනවා. මෙම සහයෝගීතාවය එම කැපවීමේ තවත් එක් පියවරක්. විශේෂයෙන්ම මෙම පාරිභෝගික කාණ්ඩයේ අවශ්‍යතා හඳුනාගනිමින්, ඔවුන්ගේ වාහන හිමිකාරීත්වය වඩාත් විශ්වසනීය සහ සුරක්ෂිත බවට පත් කිරීම සඳහාම අප විශේෂ රක්ෂණ සේවාවන් නිර්මාණය කර තිබෙනවා.” යනුවෙනි.

    මෝටර් රථ ක්ෂේත්‍රයේ පළපුරුද්ද, මූල්‍ය සේවා සහ රක්ෂණ පහසුකම් යන අංශ තුනම එකම වැඩපිළිවෙළක් යටතට ගෙන ඒම හරහා නව බලශක්ති වාහන භාවිතය වඩාත් විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතාවයට හැකියාව ලැබී ඇත. මෙම වාහන පහසුවෙන් ලබා ගැනීම සහ ක්‍රමවත් සහයෝගයක් ලබා දීම මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් පරිසර හිතකාමී මෙන්ම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට මෙම වැඩසටහන උපකාරී වේ.