Knowledge City Malabe, ප්‍රථම ගොඩනැගිල්ල විවෘත කෙරේ

    May, 6, 2021

     

    • සියල්ල සපිරි, නගරයක් තුළ නගරයක් -

    ඇක්සස් රෙසිඩෙන්සීස් සහ ෆෝසයිට් ඉන්ජිනියරින් සමාගම් එක්ව ගෙනෙන Knowledge City Malabe (KCM) ව්‍යාපෘතිය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතින් විවෘත විය. නගරයක් ඇතුළත සියලු පහසුකම්වලින් හෙබි තවත් නගරයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම ව්‍යාපෘතිය, සාමාන්‍ය ජීවන රටාවකට අවැසි සියලු පහසුකම්වලින් හෙබි අතර, සමස්ත ව්‍යාපෘතියෙන් 50%කට වැඩි ප්‍රමාණයක් වෙන්වන්නේ අධ්‍යාපනය හා බැඳුණු ක්‍රියාකාරකම් සදහා වීම කැපීපෙනේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල මහල් 7කින් සහ වර්ග අඩි 150,000ක වපසරියකින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලකි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ පිළිගැනීම ලැබූ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වන Horizon කැම්පස් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 3,200ක් පමණ මෙම නවතම ගොඩනැගිල්ලේ පහසුකම් අත්විඳීමට නියමිත ය. ඊට අමතරව Spark Academy ආයතනය මෙම ගොඩනැගිල්ලේ 6වැනි මහලට පිවිසෙමින් තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අපේක්ෂිත ය. මෙම උසස් අධ්‍යාපන ආයතනය තුළ අධි තාක්ෂණික පරිගණක විද්‍යාගාර 6ක්, විද්‍යාගාර 3ක්, පුස්තකාල, අවන්හල්, rooftop ආලින්දයක් මෙන්ම 400 දෙනෙකුට අසුන් පැනවිය හැකි අති නවීන ශ්‍රවණාගාරයක් ද ස්ථාපිත කර ඇත.

    ව්‍යාපෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසූයේ සමාජ අවශ්‍යතාවන්ට අනුකූලව විෂය මාලා සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, විවිධ පාර්ශ්වකරුවන් සාකච්ඡා කරමින් සිටින බව ය. එහිදී මෙරට අනාගත පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් KCM හරහා ලැබෙන පිටිවහල පිළිබඳව ද අමාත්‍යවරයා ප්‍රශංසාත්මකව අදහස් දැක්වීය.

    ”KCM  ආයතනය මේ සිදුකරන කාර්යභාරය හරහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු ගැටලුවලට විසඳුම් ලැබෙනවා. ඒ වගේම Horizon කැම්පස්හිදී තෝරාගැනීමට ලැබෙන විෂයයන්, අපේ රටේ ආර්ථික වර්ධනයට සමපාත වූ විෂයන් ලෙස ද හැඳින්විය හැකියි. වෙළඳපොළ අවශ්‍යතාවන්ට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීම උදෙසා ගැලපෙන ලෙස නිර්මාණය වූ විෂය මාලා පද්ධතියක් එහි දක්නට ලැබෙනවා”, යනුවෙන් මහාචාර්ය පීරිස් වැඩිදුරටත් පැවසීය.

    ”ඒ වගේම ශිෂ්‍යයින්ට දෙයාකාරයක වටිනාකමක් සහ පිළිගැනීමක් මෙම විෂය මාලා හරහා හිමිවෙනවා. ඉන් එක් මාර්ගයක් වන්නේ, මෙම විෂය මාලා, විදෙස් විශ්ව විද්‍යාල හරහා පිරිනැමීමයි. මෙම පාඨමාලා අන්තර්ජාතික තෘතීය උසස් අධ්‍යාපන පද්ධතිය හරහා හිමිවන බව ඉන් තහවුරු කෙරෙනවා. එමෙන්ම කර්මාන්ත අංශය සමග පවතින දැඩි සබඳතා හේතුවෙන්, අධ්‍යාපනයෙන් අනතුරුව වෘත්තීය අවස්ථා හිමිවීමත් සහතික කෙරෙනවා” යනුවෙන් මහාචාර්ය පීරිස් තවදුරටත් විස්තර කළේය.

    අගනුවර සිට මිනිත්තු 45ක දුරින්, මාලබේ නගරයේ පිහිටි Knowledge City Malabe ව්‍යාපෘතිය හරහා සියලු නාගරික පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී ජීවන රටාවක් අත්විඳිය හැකි අතර, දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන හරහා පිරිනැමෙන ඉහළ ප්‍රමිතියේ උපාධි පාඨමාලා, ප්‍රමුඛතම වෙළඳසැල්, බැංකු, වෛද්‍ය පහසුකම්, කාර්යාල පරිශ්‍ර ආදී පහසුකම් රැසක්  KCM ව්‍යාපෘතියට අයත් වේ. සොබා සෞන්දර්යයෙන් පිරුණු මාලබේ නගරයේ අක්කර 28ක් පුරා ඉදිවන මෙම ව්‍යාපෘතිය වසර 6කින් නිමකිරීමට අපේක්ෂා කෙරේ.

    “Knowledge City Malabe ව්‍යාපෘතිය, අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් සහිත පරිපූර්ණ නාගරික අවකාශයක් ලෙස හැඳින්වීම නිවැරදියි. ඒ හරහා වටිනා අධ්‍යයන අවකාශයක් වගේම ඉතාම හිතකර නේවාසික වටපිටාවක් නිර්මාණය කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමේදී එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිවැරදිව ස්ථානගත කිරීම කෙරෙහි අපගේ ප්‍රමුඛ අවධානයක් යොමුවෙනවා. එම නිසා Horizon කැම්පස්හි ඉගෙනුම ලබන 3,200ක සිසු පිරිසක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල වෙත යොමුකිරීම අපට විශාල සතුටක්. නුදුරේදීම තවත් ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් නිමවීමට නියමිතයි. ඒ සමග සිසුන් 10,000කට පමණ KCM පරිශ්‍රය තුළ අධ්‍යාපනය ලැබිය හැකි අතර, සිසුන් 1,000කට වැඩි පිරිසකට නේවාසික පහසුකම් හිමිවෙනවා. ඊට සමගාමීව නේවාසික, කාර්යාල, වෙළඳසැල්, විනෝදාස්වාද පහසුකම් ඉදිවෙමින් පවතිනවා. මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ සිදුවන්නේ ප්‍රථම වරටයි”, යනුවෙන් Knowledge City Malabe අධ්‍යක්ෂ අයේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    රුපියල් බිලියන 7ක ආයෝජනයක් රැගත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වන KCM හි, ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාල අත්දැකීම්, ශිෂ්‍ය නේවාසික පහසුකම්, නවීන වාණිජ කාර්යාල ගොඩනැගිලි, නවීන තනි පුද්ගල නිවාස 65ක්, නේවාසික ගොඩනැගිල්ලක් සහිත මිශ්‍ර සංවර්ධන පරිශ්‍රයක්, කීල්ස් සුපිරි වෙළඳසැලක්, හැටන් නැෂනල් බැංකු ශාඛාවක්, පැය 24 පුරා ක්‍රියාත්මක නයින්වෙල්ස් වෛද්‍ය මධ්‍යස්ථානයක්, අවන්හල් පරිශ්‍රයක්, Bowling alley පහසුකම්, සිනමා ශාලාවක්, කෝපිහල්, අවන්හල් සහ තවත් සාමාන්‍ය ව්‍යාපාරික ස්ථාන හා විනෝදාස්වාද පහසුකම් අන්තර්ගත ය.

    ඇක්සස් සමූහයේ සාමාජිකයෙකු වන ඇක්සස් රෙසිඩෙන්සීස් යනු මහා පරිමාණ දේපළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන මෙරට දේපළ සංවර්ධන අංශයේ ප්‍රමුඛයෙකි. ඉහළ මට්ටමේ පාරිභෝගික ජාලයක් හිමි ඇක්සස් රෙසිඩෙන්සීස්, උසස් තත්ත්වයේ නේවාසික පහසුකම් මෙන්ම නවීන යටිතල පහසුකම් රැසක් මෙරට පාරිභෝගිකයින්ට සමීප කර ඇත.

    Knowledge City Malabe ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවා ලෙස ෆෝසයිට් ඉන්ජිනියරින් සමාගම ක්‍රියාකරයි. ’අසීමාන්තික බහු විෂයීය විසදුම් ක්‍රියාවට නැංවීම’ යන පැහැදිලි අරමුණ ඔස්සේ ක්‍රියාත්මක වන ෆෝසයිට් ඉන්ජිනියරින් සමාගම, මෙරට විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට බහු විෂයීය විසඳුම් සැපයීමට සමත්ව සිටියි.