‘Leader Group’ කර්මාන්ත විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

    December, 12, 2023

    බැටරි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන 'Leader Group' 2023 වසරට අදාළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සහ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වී තිබේ. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමටත්, දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ වසරේ හොඳම නිෂ්පාදකයා බවට පත් වීමටත් එම සමාගමට හැකි විය.

    දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සංරචක අංශයේ වසරේ හොඳම නිෂ්පාදකයා ලෙස 'Leader Group' සම්මානයට පාත්‍ර විය. 'Leader Kaijie Battery' පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ, දුෂාන්ති කුරේ නවෝත්පාදන සහ තාක්ෂණය සඳහා සමාගම සතු කැපවීම පිළිබඳව අදහස් දැක්වූවාය. "අපි ඉදිරයේ තියෙන්නේ අභියෝගාත්මක, නමුත් සාර්ථක ගමනක්. තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍ර පිළිබඳව දැඩි උනන්දුවක් දක්වමින් බැටරි නිෂ්පාදනය ආශ්‍රිත ප්‍රධාන පෙලේ අභියෝගවලට මුහුණ දෙන්න අපි කටයුතු කරනවා."

    සිය විශිෂ්ටත්වය යලි තහවුරු කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ රන් සම්මානයක් දිනාගැනීමට ද එම සමාගමට හැකි විය. 'Leader Group' හි ප්‍රධාන විධායක නිලධාරී, මිතුල රත්නායක ඒ පිළිබඳව ස්තුතිය පල කළේය: "අඛණ්ඩව දෙවැනි වරටත් රන් සම්මානය දිනාගැනීමට ලැබීම අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එය අපේ කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා සිදු කරන කාර්යභාරය වගේම විශිෂ්ටත්වය සඳහා ඔවුන් සතු කැපවීම යලි තහවුරු කරනවා.  ඒ වගේම මේ සම්මානය බැටරි කර්මාන්තයේ ගුණාත්මක බව සහ නවෝත්පාදනය සඳහා අපේ කැපවීම වඩාත් ශක්තිමත් කරනවා."

    ඉහත කී ජයග්‍රහණයන්ට අමතරව කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ප්‍රමුඛත්වය දෙමින්  විවිධත්වය සහ අන්තර්කරණය සඳහා සුවිශේෂී කැපවීමක් ප්‍රදර්ශනය කිරීමට ද සමාගමට හැකි වී තිබේ. ස්ත්‍රී පුරුෂ විසමතාවය සමබර කරමින් විවිධත්වයකින් යුතු ශ්‍රම බලකායක් ස්ථාපනය කිරීම සඳහා සමාගම සතු කැපවීම පිළිබඳව කුරේ විස්තර කළාය. "විවිධත්වය කියන්නේ නවෝත්පාදනය සඳහා ඉතා වැදගත් සාධකයක්. අපේ ශ්‍රම බලකායෙන් 50%ක් පමණ කාන්තාවන්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කුමක් වුවත් සෑම අයෙකුටම ආර්ථික ස්වාධීනත්වය සහ වෘත්තීය වර්ධනය සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමට අපි කැප වෙනවා."

    තිරසාර නිෂ්පාදන පුරුදුවලට අනුගත වෙමින් සිය නිෂ්පාදන කටයුතු කරන 'Leader Group' පරිසර හිතකාමී සංකල්පවලට මුල්තැන දෙමින් සිය සිය නිෂ්පාදන ක්‍රියාවලිය දියත් කරයි. 'ESDEE', 'Dhara', සහ 'Kaijie' වැනි සන්නාම ගණනාවක් යටතේ සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන 'Leader Group' නවෝත්පාදනය සහ පාරිභෝගිකයන් කේන්ද්‍ර කොටගත් උපායමාර්ග රැසක් වැළඳගෙන තිබීම සුවිශේෂී කරුණකි. ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර, ඉලෙක්ට්‍රික් වාහන සඳහා 'Lithium-Ion' බැටරි නිෂ්පාදනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. ආරුක්කු හැඩැති අන්තර් සෛල වෑල්ඩින්, සහ අල්ට්‍රාසොනික් මුද්‍රා වැනි නව සොයාගැනීම් රැසකට හිමිකම් කියන 'Leader Group' මේ වන විට බැටරි නිෂ්පාදන කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටී. ඔවුහු අති නවීන පරීක්ෂණ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ කටයුතු කරති.

    'Leader Group' පසුගියදා දිනාගත් සම්මාන විශිෂ්ටත්වය, නවෝත්පාදන, සහ වගකීම් සහගත කර්මාන්ත පුරුදු සඳහා ඔවුන්ගේ කැපවීම තහවුරු කරයි. බැටරි තාක්ෂණ ක්ෂේත්‍රයට නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් වර්ධනය සහ නවෝත්පාදනය සඳහා වන අඛණ්ඩ ගමනේ ඉදිරියටම යාමට ඔවුන් සූදානමින් සිටී.

     

    ඡායාරූපය: (වම් පසින්) ලීඩර් කයිජී බැටරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ දුශාන්ති කුරේ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ වසරේ හොඳම නිෂ්පාදකයා සම්මානය ලබාගනිමින්. (දකුණු පසින්) ලීඩර් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී මිතුල රත්නායක ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍යම පරිමාණ අංශයේ රන් සම්මානය ලබාගනිමින්.