LOLC Finance සමාගමෙන් රු. බිලියනයක කොටස් ගනුදෙනුවක්. දෛනික පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි

    March, 6, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (06) දිනයේ දී රු. බිලියන 2.29 ක් ලෙසින් වාර්තා විය. මෙලෙස සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම සඳහා LOLC Finance PLC හි කොටස් මිලියන 200 ක් කොටසක් රු. 5.00 බැගින් ගනුදෙනු වීම ප්‍රධාන වශයෙන් දායක විය. ඒ අනුව එම ගනුදෙනුවෙන් පමණක් රු. බිලියනයක පිරිවැටුමක් ජනනය වී තිබුණි.

    මේ අතර අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 40.07 කින් ඉහළගොස් ඒකක 10,881.72 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 8.05 කින් ඉහළ ගොස් ඒකක 3,100.30 ක් ලෙසින් වාර්තා විය.

    අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස්, සන්ෂයින් හෝල්ඩිංග්ස්, සිලෝන් ටුබැකෝ කම්බැනි සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබුණු අතර සමාගම් 113 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඉහළ ගොස් තිබුණි.