හිට්ලර්ට දුන් කෑම මුලින්ම කෑවෙ මමයි – Margot Woelk ගෙන් ලොව කළඹන හෙළිදරව්වක්

    September, 21, 2014

    ඇයගේ දැන් වයස අවුරුදු 96 කි. ලෝකයේ මෙතෙක් බිහිවූ මහා ඝාතකයා වන ඇඩොල්ෆ් හිට්ලර් කෑ ආහාරවල වස තිබේදැයි එම ආහාර කා බැලූ “poison brigade“ නැමති කෙල්ලන් 15 දෙනාගේ කණ්ඩායමේ දැනට ඉතිරිවී සිටින එකම තැනැත්තිය ඇයයි. ඇය නමින් Margot Woelk වන්නීය.

    හිට්ලර්ගේ මිනීමරු නාසි හමුදාවේදී තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් අවසාන මොහොතේදී ඇය ලොවට හෙළිදරව් කර තිබේ.

    දෙවන ලෝක යුද්ධය අවසන් කාලයේදී ඇය අවුරුදු විස්ස පසුකළා පමණි. එවක බර්ලින් නුවර තට්ටු නිවාසයක ජීවත්වූ ඇය නගරයට එල්ලවූ ප්‍රහාර හමුවේ සිය වැඩිහිටියන් සමග නැගෙනහිර ජර්මනියේ ගම්මානයකට පළා ගොස් තිබේ. ඇය පවසන්නේ මෙම ගම්මානය මේ වනවිට පෝලන්තයේ කොටසක් බවයි.

    එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා දැඩි නාසි හිතවාදියෙකු වූ බවත් හිට්ලර්ගේ රහසිගත බංකරයේ සේවය කිරීමට තමාට ඔහුගෙන් ආරාධනාවක් ලැබුණු බවත් ඇය සඳහන් කර තිබේ.

    පසුව ඇය හිට්ලර්ගේ ආහාරවල වස තිබේදැයි කා බලන කෙල්ලන්ගේ කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත්ව ඇත. බ්‍රිතාන්‍යයන් විසින් හිට්ලර්ව වසදී ඝාතනය කරනු ඇතැයි දැඩි බියකින් ඔහු පසුවූ නිසා මේ ආකාරයෙන් ආහාර දැඩි පරීක්ෂාවකට ලක්කළ බවත් හිට්ලර් කිසිදා මස් ආහාරයට නොගත් බවත් ඇය සඳහන් කර තිබේ.

    හිට්ලර්ගේ කෑමට සූදානම් කර තිබෙන බත්, නූඩ්ල්ස්, මල්ගෝවා වැනි ආහාර ඇය කා බලන සෑම අවස්ථාවකම මරණයේ භීතිය දැනුණු බවත් පැයක් පමණ සිට තමා මරණයට පත් නොවන බව වටහාගත් සෑම විටකම සතුටු කඳුළු වැගිරුණු බවත් ඇය සඳහන් කර තිබෙන්නේ ඉතාමත් සංවේදීවය.

    ආහාර පරීක්ෂා කරන කෙල්ලන්ගේ ජීවිතයට හානියක් නොවූ බව අවබෝධකර ගත් පසුව හිට්ලර් එම ආහාර කන බව සඳහන්ය.

    1945 දී සෝවියට් හමුදාව ජර්මනියට කඩා වැදුණු අවස්ථාවේදී යුද්ධය අවසන් වූ බව නිවේදනය කරන්නට පෙර හිට්ලර් සියදිවි නසා ගන්නා ලදී.

    මෙම අවස්ථාවේදී Margot Woelk ප්‍රමුඛ හිට්ලර්ගේ ආහාර පරීක්ෂාකළ කෙල්ලන් කණ්ඩායම බර්ලිනයට පැන යන්නට උත්සාහ කළ බවත් එහිදී රතු හමුදාවේ ග්‍රහණයට තමා ඇතුළු පිරිස හසුවූ බවත් ඇය අනාවරණය කර ඇත.
    hhh