Medicare 2023 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය 12 වැනි වරටත් සාර්ථකව BMICH හිදී පැවත්වෙයි

    March, 7, 2023

    ශ්‍රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් පසුගිය 3 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණු අතර ප්‍රදර්ශනය උත්සවාකාරයෙන් දියත් කිරීමේ අවස්ථාව සඳහා අතිගරු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3 වැනි දින සිට 5 වැනි දා දක්වා දින තුනක කාලයක් සාර්ථකව පැවත්වුනු අතර “ශ්‍රී ලංකාවට සුවය” යන තේමාව යටතේ පැවත්වුණු ප්‍රදර්ශනය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයම නියෝජනය කරන විවිධ දේශීය හා ජාත්‍යන්තර ආයතන විසින් ප්‍රදර්ශනය කුටි 100 කට අධික ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි. දින තුනක කාලපරිච්ඡේදය ඇතුළත නරඹන්නන් 10,000 කට අධික පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගී වී තිබීම විශේෂත්වයකි.

    Medicare 2023 සංවිධායක කමිටුවේ සහ Asia Wellness Forum හි සභාපති වෛද්‍ය අමල් හර්ෂ පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Medicare ප්‍රදර්ශනයේ 12 වැනි අදියර මෙලෙස සාර්ථකව සංවිධානය කිරීමට හැකි වීම අපට විශාල සතුටක් සහ ආඩම්බරයක්. දශකයකට අධික කාලයක් පුරා අපි ක්‍රමක්‍රමයෙන් Medicare ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුදුන්මල්කඩ බඳු නියෝජනය බවට පත් කිරීමට වෙහෙස වුණා. වර්තමානයේදී අපට ජාත්‍යන්තරව හා දේශීය වශයෙන් ලැබෙන පිළිගැනීම අපේ ඒ උත්සාහයන් සාර්ථක වූ බවට අපට ලැබෙන සහතිකයක්. ඒ වගේම වර්තමාන අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා සියලුම පාර්ශ්වයන්ගෙන් අප ලද සහයෝගය Medicare සාර්ථකත්වය ගැන නිදසුනක් යැයි අපි හිතනවා”

    Medicare 2023 ප්‍රදර්ශනය යටතේ ප්‍රධාන ප්‍රදර්ශන තුනක් පැවත්වුණු අතර ඒ “ජාතික සුවසේවා ප්‍රදර්ශනය”, “සුවසේවා සංචරණ ප්‍රදර්ශනය” සහ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “නීරෝගා ආයුර්වේද ප්‍රදර්ශනයයි”. ඉන්දියාවේ අපනයන සේවා ප්‍රවර්ධන කවුන්සිලය (SEPA) විසින් සංවිධානය කළ ඉන්දියානු වෛද්‍ය සේවා ප්‍රදර්ශනයද Medicare 2023 හි කැපී පෙනෙන අංගයක් විය.

    පරිපූර්ණ ප්‍රදර්ශනයක් වන Medicare 2023 හි නවතම වෛද්‍ය තාක්‍ෂණයන්, ඖෂධ පිළිබඳ තොරතුරු/අධ්‍යාපනය, රෝග නිවාරණය සහ ප්‍රතිකාර පිළිබඳ දැනුම සහ උපදේශන සහ වෙනත් උසස් වෛද්‍ය සේවාවන් රාශියක් ද ඇතුළත් විය. දින 3 ක කාලය තුළ, සහභාගී වූ ආයතන පැමිණ සිටි සාමාන්‍ය ජනතාවට නොමිලයේ විවිධ සේවාවන් ලබා දුන් අතර සංවිධායකයින් විශේෂ වෛද්‍ය සංගම්වල සහාය ඇතිව අධ්‍යාපනික සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වන ලදී. වැදගත්ම දෙය නම්, එක්ස්පෝ විවිධ දේශීය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ආයතන සම්බන්ධ කර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයක් ඇති කරන වැදගත් B2B වේදිකාවක් ලෙස ඵලදායී ලෙස ක්‍රියා කිරීමයි.

    Medicare 2023 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ Aitken Spence Conventions & Exhibitions සමඟ සහයෝගීතාවයෙන් Asia Wellness Forum විසින් සංවිධානය කරන ලදී. ප්‍රදර්ශනයේ 12 වන අදියර සාර්ථක කරගැනීමට උරදුන් සියලුම හවුල්කරුවන්ට සහ සහභාගී වන සංවිධානවලට සංවිධායකයින් ඔවුන්ගේ ස්තූතිය පළ කරයි.