Meta, ICTA සහ හවුල්කරුවන් ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ඩිජිටල් තාක්ෂණ භාවිතය සවිබල ගැන්වීම සඳහා කැපවී සිටියි

    March, 22, 2023

    මීට පෙර Facebook සමාගම ලෙස හැඳින්වූ Meta සමාගම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් හවුල් කරුවන් සමග එක්ව කාන්තාවන්ගේ ආර්ථිකය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය සවිබල ගැන්වීමට සහය වීම සඳහා කටයුතු කර ඇත.

    මාර්තු 15 වන දින, ICTA ආයතනය සහ Meta සමාගම එක්ව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගන්වීම් අමාත්‍යංශය සමග අත්වැල් බැඳ ගනිමින් ව්‍යාපාර සඳහා ඩිජිටල් වේදිකාවන් භාවිතා කරන ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා ජාතික සංසදයක් පවත්වන ලදී. ඔවුන් පසුගිය වසර පහ තුළ වැඩසටහනේ ප්‍රතිඵල නිවේදනය කරන ලදී. එමෙන්ම Meta විසින් සිය SheMeansBusiness මුලපිරීම හරහා දායක වූ Suhuruliya වැඩසටහනේ හවුල්කාරීත්වයේ කොටසක් ලෙස, කාන්තා ආර්ථික සංවර්ධනය සඳහා වන ඊලඟ අදියරට අදාළ සැලැස්මද සාකාච්ඡා කළහ.

    Meta හි ආසියා පැසිපික් කලාපයේ ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ බෙත් ඈන් ලිම් ප්‍රකාශ කළේ, වසංගත තත්වය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික කැළඹීම් හේතුවෙන් කාන්තාවන් සතු ව්‍යාපාරවල විභවයන් අගුළු හැරීම අත්‍යවශ්‍ය වන බවයි. දේශීය සහ විදේශීය වෙළඳපොළ වෙත ප්‍රවේශය ලබා දෙන ඩිජිටල් ලෝකයට සම්බන්ධ වීමට කාන්තා ව්‍යවසායකයින්ට මග පෙන්වීමක් ලබා දීමට ශ්‍රී ලංකාවේ සිය හවුල්කරුවන් සමග කටයුතු කරන්නට ලැබීම ගැන තමා සතුටු වන බවද වැඩි දුරටත් පැවසීය.

    2020 දී Meta , Suhuruliya වැඩසටහනේ හවුල්කරුවෙකු බවට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙනයාම පහසු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කරගැනීමට Meta සතු විශේෂඥතාව සහ මෙවලම් උපකාරී විය.

    මේ වනවිට කාන්තා ව්‍යවසායකයින් 17,000කට අධික සංඛ්‍යාවක් ඩිජිටල් කුසලතා පිළිබඳ පුහුණුව ලබා ඇත. බලපෑම් සමීක්ෂණයට අනුව පුහුණු කාන්තා ව්‍යවසායකයින්ගේ ආදායම 36%කින් ඉහළ ගොස් ඇති අතර වාර්ෂික ආදායමෙන් රුපියල් බිලියන 1.2ක එකතුවක් වාර්තා විය.

    මෙම අවස්ථාවට සහභාගී වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු. කනක හේරත් මහතා සඳහන් කළේ කාන්තා ව්‍යවසායකයින් ඩිජිටල් දැනුමෙන් සවිබල ගැන්වීම ඉලක්කයක් පමණක් නොවන බවත් එය වඩාත් දීප්තිමත් සහ සුපැහැදිලි අනාගතයක් සඳහා අවශ්‍යතාවයක් වන බවයි. Suhuruliya මුලපිරීම සහ රටපුරා කාන්තාවන් සවිබල ගැන්වීමට ගන්නා උත්සහයන් වෙනුවෙන් ICTA සහ හවුල්කාර ආයතන වෙත එතුමා සුබ පැතුම්ද එක් කළේය.

    කොළඹ පැවති උත්සවයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු. ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියද සහභාගී වූ අතර එතුමියද වැඩසටහනට සහය පළකරමින් සිය අදහස් ප්‍රකාශ කළාය.

    ICTA සභාපති මහාචාර්‍ය මලික් රණසිංහ මහතා පැවසුවේ, ඩිජිටල් දැනුමෙන් සවිබල ගැන්වූ කාන්තාවක් යනු සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්මෙහි එක් ප්‍රධාන සාධකයක් බවයි. මෙම මුලපිරීම ජාතිය තුළ කාන්තා සංවර්ධනය වේගවත් කිරීම සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම මගින් සිදු වී ඇති බව තමන් හඳුනාගත් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    “We Think Digital” යනු සිසුන්, තරුණයින්, ගුරුවරුන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වැනි බහුවිධ කොටස් ඉලක්ක කරගත් ප්‍රමුඛතම මුලපිරීමකි. එය දියත් කිරීම තුළින් එම බහුවිධ කොටස්වල ඩිජිටල් ආරක්ෂාව සහ සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීමට Meta විසින් ICTA සහ අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව Sarvodaya-Fusion හි IT Yahamaga මුල පිරීම සමග හවුල් වී ඇත. ඩිජිටල් අවකාශයේ ආරක්ෂිතව සැරිසැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් 5,000ක් පුහුණු කළ විශේෂ වැඩසටහනක් පසුගිය මාස 12 තුළ ක්‍රියාත්මක වූ අතර ඔවුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය 150,000කට ආසන්න පිරිසක් වෙත ලඟා වී තිබේ.

    ජාත්‍යන්තර කාන්තා ඉතිහාස මාසය සමරමින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ඩිජිටල් අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටත් “We Think Digital” වැඩසටහනේ ප්‍රතිඵල සහ උගත්කම් බෙදාගැනීමටත් කාන්තා නියෝජිතයන් සම්බන්ධ කරගැනීමේ උත්සවයක් මාර් තු 16 මොරටුව විශ්ව නිකේතනයේදී පැවැත්විණි.

    කාන්තා ව්‍යවසායකයින්ට සහ‍ය වීම සඳහා Meta හි ආයෝජන ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා පිවිසෙන්න: https://shemeansbusiness.fb.com. ඩිජිටල් ලෝකය පිළිබඳව සහ එහි ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න ගැන ඉගෙන ගන්න: https://wethinkdigital.fb.com/lk/en-lk/

     

    ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායිකාවන් සහ හවුල්කරුවන්, ICTA, Meta, සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් පවත්වන ලද ජාතික සංසදයට සහභාගී විය.

     

    ඡායාරූප විස්තරය - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු. කනක හේරත් මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු. ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය අතින් කාන්තා ව්‍යවසායකයින්ට සහ හවුල්කරුවන්ට සම්මාන ලබාදුන් අවස්ථාව