NBQSA 2023 සම්මාන උළෙලේදී විභාග (Vibaga) යෙදවුමට තවත් සම්මානයක්

    November, 20, 2023

    විභාග යෙදවුම 25 වන NBQSA සම්මාන උළෙලේදී අධ්‍යාපන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය. සම්මාන උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාර්ක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විභාග යෙදවුමට ඇතුළත් වූ නවතම සංස්කරණය වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු දරුවන් සඳහා වන විභාග ඉගැනුම් සැළසුම් මෙම ජයග්‍රහණයට විශේෂයෙන් දායක වී ඇත. මෙම විභාග යෙදවුම නිර්මාණය හා ජනගත කිරීම සිදු කරනු ලබන්නේ එක්ස්ට්‍රොජීන් සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගම විසිනි.

    ශ්‍රී ලාංකේය අධ්‍යාපනයට විභාග යෙදවුමෙන් සිදු වන පිටිවහල වෙනුවෙන් 2020 ඊ - ස්වාභිමානී සම්මාන උළෙලේදීද අධ්‍යාපන කාණ්ඩයේ කුසලතා සම්මානය එයට හිමි විය. මුළු ලොවම වෙලා ගත් කොවිඩ් වසංගත සමයේ රටම අගුළු දැමු අවස්ථාවේ විභාග යෙදවුම නොමිලේම සැපයීම ලාංකික සිසු දරුවන්ට විභාගයට සුදානම් වීම සඳහා මහඟු පිටිවහලක් විය. මේ වන විට උසස් පෙළ සිසු දරුවන් ඇතුළු 75,000කට වැඩි පිරිසක් මෙම යෙදවුම බාගත කර ගෙන විභාගයේ බහුවරණ ප්‍රශ්න පත්‍ර සඳහා ඉතා හොඳින් මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන ඇත. විභාග යෙදවුම Google Play වෙතින් නොමිලේ බාගත කර ගෙන විභාග ඉගැනුම් සැළසුම් හා ප්‍රශ්න පත්‍ර භාවිතයෙන් බහුවරණ සඳහා සුදානම් වීමටත්, ඉහළ ආත්ම විශ්වාසයකින් විභාගයට මුහුණ දීමටත් හැකියාව ලැබේ.

    එක්ස්ට්‍රොජීන් සොෆ්ට්වෙයාර් යනු 2014 වර්ෂයේදී පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළ මෘදුකාංග නිපදවන ආයතනයකි.  මෙහි සම නිර්මාතෘවරුන් වන්නේ රුවන් දිසානායක සහ තුෂාර රන්කොත්ගේ  යන මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් දෙදෙනාය. පසු කාලීනව ඔවුන් දෙදෙනා කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද සම්පුර්ණ කර ඇත. එක්ස්ට්‍රොජීන් නව මෘදුකාංග නිපදවීමට අමතරව තම සේවාදායකයන්ට මෘදුකාංග සේවාද සපයයි‍.