NDB බැංකුව සහ ලංකා වාණිජ්‍ය මණ්ඩලය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන අංශය යළි පුබුදුවාළීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹෙයි  

    February, 8, 2023

    ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන ක්ෂේත්‍රවල සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා NDB බැංකුව, ලංකා වාණිජ්‍ය මණ්ඩලය සමඟ මෑතක දී අවබෝධතා ගිවිසුමකට එළඹිණි. NDB බැංකුව විසින් ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයේ සාමාජිකයන්ට පිරිනමන සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ හිමි වනු ඇත.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන අංශ මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් අවම කිරීම සහ මෙම අංශවල තිරසාර බව වැඩි වශයෙන් තහවුරු කරන ආර්ථික යටිතල පහසුකම් නිර්මාණය කිරීමට දායක වීම සම්බන්ධයෙන් මෙම ගිවිසුමේ අවධානය යොමු වේ. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය යන අභියෝග ද්විත්ත්වය ඔස්සේ ඩොලර් සංචිතවලට එල්ල වූ බලපෑම සහ ආනයන අංශය හා වෙළෙඳාම මත පනවන ලද සීමා හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දැඩි ලෙස පීඩාවට පත්විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ව්‍යාපාරවල පරිමාණය අඩු කර හෝ සිය මෙහෙයුම් නවතා ඇති බැවින් විශාල පාඩුවලට මුහුණ දෙති. එබැවින් ව්‍යාපරික කටයුතුවල තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක සහය සහ ආර්ථික සහය ඔවුන්ට දැඩි ලෙස අවශ්‍ය වේ.

    මෙතෙක් බලයට පත් වූ රජයන් සිය සාර්ව ආර්ථික අරමුණුවලට ඇතුළත් උපායමාර්ගික අංශයක් සහ අන්තර්ග්‍රහණ ආර්ථික වර්ධනයට ඉවහල් වන පෙරගමන්කරුවෙකු ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හඳුනාගෙන ඇති බැවින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කර එය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා  ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙන්ද්‍රය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරයි.

    මෙම මධ්‍යස්ථානය උපදේශන සේවා, ව්‍යාපාර යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය සහය, අපනයන ආශ්‍රිත සහය සහ ව්‍යවසායකත්ව මාර්ගෝපදේශ ඇතුළු පුළුල් පරාසයකට විහිදුණු ව්‍යාපාර සංවර්ධන සේවා සපයයි.

    සිය අදහස් පළ කළ  ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා, ‘සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන අංශ  ඉටු කරන වැදගත් කාර්යභාරය ගත් කල, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීම  තහවුරු කිරීම සඳහා එම අංශවල තිරසාරභාවය සහ වර්ධනය තහවුරු කිරීම අතිශයින් වැදගත් වේ’ යනුවෙන් සඳහන් කළේ ය.  ‘ස්ථාවරභාවයෙන් යුක්ත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයක් තුළින් සැලකිය යුතු රැකියා අවස්ථා ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බවත්, එමඟින් ආර්ථික හා සමාජීය උන්නතියට දායක විය හැකි’ බවත්, NDB හි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

    NDB සහ  ලංකා වාණිජ්‍ය මණ්ඩලය අතර අදියර දෙකක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය පුබුදුවාළීම සඳහා දායක වීමේ දිගුකාලීන අරමුණ සහිතව, අපනයනකරුවන්ට මෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය ලබා දීමට කටයුතු කරයි.

    NDB බැංකුව, මෑතක දී යූරෝමනී (Euromoney) විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කරන ලදී. ලොව කීර්තිමත් මූල්‍ය සේවා ප්‍රකාශන වන යූරෝමනී (Euromoney), ග්ලෝබල් ෆයිනෑන්ස් (Global Finance) සහ ද බෑන්කර් (The Banker) හරහා NDB බැංකුව ලද සිව්වැනි සම්මානය වන්නේ මෙය යි. LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘Most Awarded Corporate 2021’ වශයෙන් NDB බැංකුව නම් කොට තිබූ පසුබිමක් තුළ මෙම ජයග්‍රහණය හිමිවිය. ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව ද නම් කළේ ය. ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම බැංකුව ලෙස ලැයිස්තුගතව ඇති NDB බැංකුව, NDB සමූහයේ මව් සමාගම  වේ.  ශ්‍රී ලංකාවේ එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය, NDB හි සියලුම සමූහ සමාගම් පිරිනමන නිෂ්පාදන සහ සේවා සඳහා පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩහසර සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළේ වර්ධනයට සහ සංවර්ධනයට සහය වෙමින් කටයුතු කිරීමේ සුවිශේෂී භූමිකාවක නිරතව සිටියි.

     

    ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට - ජනක මීපාගල- ව්‍යාපාර බැංකුකරණයල, ධනුෂ්කා රණසිංහ- සහකාර කළමනාකරු- නීති, රසිකා දසනායක- කළමනාකාර ප්‍රධානී - ව්‍යාපාර සබඳතා හා ව්‍යාපාර කළඹ කළමනාකරණය, ඉන්දික රණවීර-  උපසභාපති- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, මධ්‍යම වෙළඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණය,  දිමන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මංජුල ද සිල්වා-  ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී, යසුර සමරකෝන්- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයේ ප්‍රධානී, ලංකා වාණිජ්‍ය මණ්ඩලය, දිනිති ඩයස් - සහකාර මහ ලේකම්, ලංකා වාණිජ්‍ය මණ්ඩලය, අවන්ති බණ්ඩාර- ජ්‍යෙෂ්ඨ කළමනාකරු- නීති