NDB බැංකුව සිය ආයතනික සහ සමාජ වගකීම් ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර නිර්මාණ වෙන්දේසියක් පවත්වයි

    February, 2, 2023

    NDB බැංකුව සිය ආයතනික සහ සමාජ වගකීම් ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස ග්‍රාමීය පාසල් දෙකකට සහය වීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය භාවිතා කොට නිර්මාණය කරන ලද 2023 වර්ෂයේ NDB දින දර්ශනයේ අන්තර්ගත පින්තූර, ඉහළ වටිනාකමකින් යුත් රාමුගත පින්තූර ලෙස මාර්ගගත (ඔන්ලයින්) වෙන්දේසියක් හරහා වෙන්දේසි කරනු ලැබේ.  මෙම වෙන්දේසිය හරහා ලැබෙන අරමුදල් අවම පහසුකම් සහිත පාසල් දෙකක් වන මධ්‍යම පළාතේ මාතලේ/විල්/වෙහෙරගලයාය කනිෂ්ඨ විද්‍යාලය සහ යාපනයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා යොදාගැනේ.

    NDB බැංකුව සෑම වසරකම, එළඹෙන නව වසර සඳහා නව සංකල්ප සහ අද්විතීය අදහස්වලින් සමන්විත දින දර්ශනයක් නිර්මාණය කරයි. එබැවින්, NDB බැංකුව මෙම වසරේ දී එහි සමාගම් තේමා පාඨය වන අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු යන තේමාවට අනුගත වෙමින් තවත් පියවරක් තැබූ අතර, එහි වඩාත්ම නව්‍ය දින දර්ශනය නිර්මාණය කළේ ය. මෙහිදී කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් මෙම දෘශ්‍ය නිර්මාණ සකස් කෙරිණි.

    මෙම සංකල්පය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා, NDB බැංකුව සිය ලාබාලතම ගනුදෙනුකරුවන් වන දරුවන්ගේ සහය ලබාගත්තේ ය. වසර 100 කින් පසුව එළඹෙන අනාගතය කෙබඳු අයුරින් පවතිනු ඇත්දැයි සිතා බලන ලෙසත්, ඒ පිළිබඳව සිය අදහස් පළ කරන ලෙසත් මෙම දරුවන්ට යෝජනා කරන ලදී.

    සියවසකට පසුව, එනම් අනාගතයේ දී සිදුවීමට නියමිත දේ සම්බන්ධයෙන් තමන් දරන අදහස දරුවන් බොහෝ පිරිසක් විසින් කෙටි වීඩියෝ හරහා බෙදාගන්නා ලදී. එම දරුවන් යොමු කළ අදහස් සමාලෝචනය කිරීමෙන් පසුව, දින දර්ශනය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා හොඳම ඉදිරිපත් කිරීම් 12 ක් තෝරා ගන්නා ලදී. මේ අනුව, දින දර්ශනය සඳහා යොදා ගත් මෙම පරිකල්පනමය අදහස්වල දෘශ්‍යමය නිර්මාණ AI තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කෙරිණි.

    මෙම වෙන්දේසිය හරහා ලැබෙන අරමුදල්, අසීරු අවස්ථාවන් හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන  දරුවන් වෙනුවෙන් යෙදවීමටත් ඔවුන් වෙනුවෙන් වඩාත් හොඳ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමටත් භාවිතා කෙරේ. මෙම මාර්ගගත (ඔන්ලයින්) වෙන්දේසිය විශේෂිත වෙබ් අඩවියක් හරහා දියත් කෙරෙන අතර,  2023 ජනවාරි 25 සිට පෙබරවාරි 10 වැනි දින ​​තෙක් ලංසු තැබීම සඳහා එය මහ ජනතාවට විවෘත වේ. මේ පිළිබඳ වැඩි විස්තර NDB බැංකුවේ වෙබ් අඩවියෙන් සහ NDB බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාල හරහා ලබා ගත හැකි ය.

    චායාරූපය පහලින් ඇති Qර්‍ QR කෙතය ස්කෑන් කිරීමෙන් ඔබට අදාල වෙබ් පිටුවට පිවිසිය හැක.

    NDB බැංකුව මාතලේ ප්‍රදේශය තුළ සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් සිදු කොට ඇති අතර, විශේෂයෙන්ම මධ්‍යම පළාතේ/විල්/ වෙහෙරගලයාය කනිෂ්ඨ විද්‍යාලයේ පහසුකම් සහ පොදුවේ ගත් කල ජනතාවගේ ජීවිකාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත. මෙම පාසලේ පරිගණක විද්‍යාගාරය වැඩිදියුණු කිරීම සහ මින් පෙර භාවිත කළ පරිගණක ඊට සැපයීමට අමතරව, එම විද්‍යාගාරයට අවශ්‍ය පරිගණක මේස ලබා දීම සඳහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීහු ස්වේච්ඡාවෙන් දායක වූහ. සමස්ත පාසලටම අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය සඳහා වැය වන පිරිවැය ආවරණය වන පරිදි සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලට සහය වීමේ අරමුණින් එම පොත්පත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා ද බැංකුව විසින් අරමුදල් සපයන ලදී.

    මාතලේ ප්‍රදේශයේ ජලය පානයට නුසුදුසු තත්ත්වයේ පැවති බැවින් NDB බැංකුව සිය සමාජ සත්කාරක වැඩසටහනේ අංගයක් ලෙස නව ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ ජනතාවගේ වකුගඩු රෝග අවම වී ඇත.

    NDB බැංකුව ක්‍රියාත්මක කරන සමාජ සත්කාරක වැඩසටහනේ මීළඟ අදියර වන්නේ, තෝරාගත් පාසල්වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතුවල කාර්යක්ෂමව නිරත වීම සඳහා පහසුකම් සැලසීම යි.