NDB බැංකුව IFC එකතුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වයි

    June, 15, 2023

    විවිධාකාරයේ වෙළඳපොළ සහ මූල්‍ය අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ  ව්‍යවසායන් (SME) තුළ සැලකිය යුතු ආකාරයේ වර්ධනයක් සිදුව ඇති බව දක්නට ලැබේ. මෙරට තීරණාත්මක වර්ධන මූලයක් වන සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් තවදුරටත් සවිබල ගැන්වීම සඳහා, NDB බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව ශ්‍රී ලංකාව පුරා විසිර සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සහ පුළුල් කිරීමට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් වැඩසටහන් මාලාවක් පැවැත්වී ය.

    NDB බැංකුව සහ IFC ආයතනය අතර දශක ගණනාවක් මුළුල්ලේ දිගුකාලීන හවුල්කාරිත්වයක් පවතින අතර, මූල්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ශ්‍රී ලංකාව පුරා පුළුල් කිරීම සම්බන්ධයෙන් NDB බැංකුව සතු උපායමාර්ගික දැක්ම යථා තත්ත්වයට පත් කිරීම සඳහා IFC ආයතනය NDB බැංකුව වෙත සිය සහයෝගය ලබා දෙයි. IFC ආයතනයේ විශේෂඥ දැනුම උපයෝගී කර ගත් NDB බැංකුව, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි වන අයුරින් තම බැංකුව පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය.

    2023 මාර්තු මස ආරම්භ වී 2023 ජූනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම ඔන්ලයින් වැඩසටහන් මාලාව සුළු පරිමාණයේ ව්‍යවසායකයන්ට සිය මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහය වෙමින් ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට උපකාරී වේ. මේ හරහා NDB බැංකුවට රට පුරා ව්‍යාප්ත වීමට හැකි වේ. මෙම වැඩසටහන් මාලාව හරහා කෘෂිකර්මාන්තය, සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය, වෙළඳාම, සැපයුම් සහ ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ඇතුළු විවිධ අංශවල ව්‍යවසායකයන් සමූහයක් නියෝජනය වන අතර මූල්‍ය, නවෝත්පාදන, අලෙවිකරණය, ඩිජිටල් ව්‍යාපාර සඳහා වන ප්‍රවේශය පිළිබඳ උපදෙස් ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් ද ආවරණය කෙරේ.

    මෙරට ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑම් එල්ල වූ ගෝලීය වසංගතය හේතුවෙන් ණය දීම සහ ණය ඉදිරිපත් කිරීම් ආදිය ඇතුළුව බැංකුවේ ඇතැම් ක්‍රියාවලීන්ට බලපෑම් එල්ල වූ ආකාරය පිළිබඳව සහභාගී වූවන් දැනුම්වත් කිරීමට මෙම සැසි හරහා NDB බැංකුවට හැකි විය. තවද, විශේෂ මූල්‍යකරණ විකල්ප, බහුපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික අරමුදල් යෝජනා ක්‍රම, විශේෂ පාරිභෝගික සේවා/සම්බන්ධතා ක්‍රියාමාර්ගවලට අදාළ තොරතුරු ද ඊට ඇතුළත් විය. බහුවිධ අර්බුදවලට පිළියම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිදියුණු කරන ලද ඩිජිටල් බැංකු සේවා පිළිබඳව ද සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් මෙම වෙබිනාර් මාලාව හරහා දැනුම්වත් කරන ලදී. බැංකු ශාඛාවලට පැමිණීම වැළැක්වීම සඳහා ණය සැකසීමේ කටයුතු සිදු කිරීම, වාරික කාල සීමා දීර්ඝ කිරීම්, කල් දැමීම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මග පෙන්වීම හෝ පියවර ගැනීම යනාදිය ඊට ඇතුළත් ය.