Q+ පරිශීලකයන්ට අද්විතීය ඊ-වාණිජ්‍ය අත්දැකීමක් පිරිනැමීමට කොමර්ෂල් බැංකුව PayHere සමඟ එක්වෙයි

    December, 1, 2021

    කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් සමුහ සේවාව වන PayHere සමඟ හවුල් වී කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීම් යෙදුම භාවිතා කරන්නන්ට අද්විතීය, පරිශීලක-හිතකාමී සහ ආරක්ෂිත ඊ-වාණිජ්‍ය අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් Q+ යෙදුම හරහා PayHere ඔන්ලයින් ගෙවීම් සේවාවෙහි ලියාපදිංචිව, එය ක‍්‍රියාත්මක කර ඇති 3,300කට අධික වෙළෙඳුන්ට, තම මිලදී ගැනීම් සඳහා පහසුවෙන්ම ගෙවීම් සිදු කළ හැක. රටේ වේගයෙන්ම වර්ධනය වන QR යෙදුම වන Q+ හරහා ගෙවන බැංකුවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ පෙරගෙවුම් කාඞ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඞ්පත් විස්තර දැනටමත් එම යෙදුමේ ගබඩා කර ඇති නිසා නැවත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව බැංකුව පවසයි.

    ගනුදෙනුව සඳහා යෙදුම සමඟ ලියාපදිංචි පරිශීලකයන්ගේ ජංගම දුරකථන අංක ඇතුළත් කිරීම පමණක් අවශ්‍ය වන නිසා Q+ ඔන්ලයින් ගෙවීම් පහසුකම හරහා PayHere වෙළෙඳ නියෝජිතයන් වෙත ගෙවීමේ පහසුව වැඩි කරනු ඇත. පාරිභෝගිකයන්ගේ සංවේදී දත්ත වෙළෙඳ වෙබ් අඩවි වෙත සම්පේ‍්‍රෂණය නොවන බැවින්  Q+ යෙදුම සාමාන්‍ය කාඞ්පතකට වඩා සුරක්ෂිත වන අතර ගනුදෙනුවල ආරක්ෂාව සහතික කරන ස්ථිතික රහස් අංකයක් භාවිතයෙන් Q+ හරහා සිදු කරන ගෙවීම් සත්‍යාපනය කිරීම අවශ්‍ය වේ.

    මෙම හවුල්කාරිත්වය හරහා PayHere සක‍්‍රීය කර ඇති වෙළෙඳ නියෝජිතයන්ට ගෙවීම් ලබා ගැනීම සඳහා තවත් මාර්ගයක්ද විවෘත කරන බව බැංකුව පවසයි. සියලූම ප‍්‍රධාන ක්‍රෙඩිට් කාඞ්පත්, ජංගම මුදල් පසුම්බි සහ අන්තර්ජාල බැංකු පද්ධති හරහා සිදු කරන ගනුදෙනු පිළිගැනීමට අමතරව, PayHere වෙළෙඳුන්ට දැන් ඔවුන්ගේ වෙබ් අඩවිවලට Q+ ඔන්ලයින් ගෙවීම් පහසුකම එක් කර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගෙවීම් පියවීමට තවත් විකල්ප ක‍්‍රමයක් ලබාදිය හැකිය. කොමර්ෂල් බැංකුව රට තුළ වැඩිම කාඞ්පත් ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කරන බැංකුව වීම ද විශේෂිත කරුණකි.

    මෑතකදී  ක‍්‍රියාකාරී පරිශීලක 100,000 සන්ධිස්ථානය ඉක්මවා ගිය කොමර්ෂල් බැංකුවේ Q+ යෙදුම, LANKAQR‍ යටතේ දියත් කළ ශ‍්‍රී ලංකාවේ පළමු QR මත පදනම් වූ ගෙවීම් යෙදුම වේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සමූහ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී හස්රත් මුණසිංහ මහතා, (දකුණේ සිට දෙවැන්නා) සහ PayHere හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිළධාරී දනික පෙරේරා මහතා (වමේ සිට දෙවැන්නා) ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට PayHere හි සංවර්ධන ප‍්‍රධානී කාවින් මෙන්ඩිස් මහතා (දකුණේ කෙළවරේම) සහ බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සීවලි වික‍්‍රමසිංහ මහතා සහභාගී විය.