Rainco වෙතින් COVID-19 වසංගතයට එරෙහිව සනීපාරක්ෂක පහසුකම් රැසක්

    January, 19, 2021

    COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19  ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා සේදුම් කට්ටල පරිත්‍යාගයක් සිදු කෙරිණ.

    "වෙනස් වෙන්න - තමන්ගෙන්ම පටන්ගන්න" (Be the Change - It Stars with You) තේමාව යටතේ මුඛ ආවරණ (මාස්ක්) පැළඳීම, මීටරයක දුරින් සිටිමින් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීම හා නිතරම නිවැරදිව අත් සේදීම යන අලූත් සෞඛ්‍යාරක්ෂණ පුරුදු අත්නොහැර - මග නොහැර පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් Rainco විසින් දියත් කළ සමාජ සත්කාරක වැඩපිළිවෙල යටතේ තවත් එක් පියවරක් ලෙස Rainco පුද්ගලික සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පරිත්‍යාගය සිදු කෙරිණ. Rainco පුද්ගලික සමාගම විසින් සිදු කළ එම සේදුම් කට්ටල පරිත්‍යාගය හරහා කොළඹ නගරය ආශ‍්‍රිතව මහජනතාව ගැවසෙන පොදු ස්ථාන රැසක සනීපාරක්ෂක පහසුකම් ක‍්‍රියාත්මක කිරීම අපේක්ෂිතය.

    Rainco පුද්ගලික සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් මහතා එම පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින්, ආකල්පමය වෙනසක් තුළින් සෞඛ්‍යාරක්ෂණ පුරුදු හුරුවෙමින් නිවසේදීත් බාහිර පරිසරයේදීත් තමාගේත් අනෙකාගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම් සහගත දිවිපෙවෙතක් ගතකිරීම හරහා COVID-19   ගෝලීය වසංගතයෙන් රටක් වශයෙන් සුරක්ෂිත විය හැකි බව අවධාරණය කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා  Be the Change  ප‍්‍රජා සත්කාරක වැඩසටහන හරහා අපි අපේක්ෂා කරන්නේ යහපත් සනීපාරක්ෂක පුරුදු දිනපතා ක‍්‍රියාත්මක කිරීමට ජනතාව උනන්දු කරවීමටයි. ඉතාම පුංචි වෙනසකින් පවා විශාල වෙනසක් ඇති කරගන්න පුළුවන්, රටක් විදිහට අපි එකමුතුව මේ ගැන කල්පනාකාරීව කටයුතු කළොත් COVID-19 අභියෝගය ජයගැනීම අමාරු නැහැ.යැයි පැවසීය.

     

    ඡායාරූප විස්තරය: Rainco පුද්ගලික සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස් කොළඹ මධ්‍යම රොටරි සමාජයේ නියෝජිතයෙක් වෙත සේදුම් කට්ටලයක් ලබාදීම