Ritzbury ශ්‍රී ලංකාවේ ඉහළම තත්ත්ව සම්මානයෙන් පිදුම් ලබයි

    April, 22, 2026

    මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී

    CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී [Sri Lanka National Quality Award (SLNQA) 2023] ‘නිෂ්පාදන - මහා පරිමාණ’ කාණ්ඩය යටතේ මෙම සම්මානය Ritzbury වෙත හිමි විය. ජාත්‍යන්තර තලයේ තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීම, ශක්තිමත් ආයතනික පාලන ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ සුරක්ෂිත, විශ්වාසනීය හා උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීම මෙන්ම ඒ ඔස්සේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතියට දායක වීම වෙනුවෙන් මෙම සම්මානය Ritzbury වෙත පිරිනමන ලදි.

    මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගන්නා ලද්දේ තත්වය සහ කාර්යසාධන විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකවලට අනුකූල සහ අදියර කිහිපයකින් යුත් පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් තුළිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන් වෙත සම්මාන පිරිනමන ලදි.

    ‘Malcolm Baldrige Framework’ ඇතුළුව ලොව පිළිගත් විශිෂ්ටතම ඇගයුම් ක්‍රම පදනම් කරගෙන පිරිනමනු ලබන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන, මෙරට ආයතනික විශිෂ්ටත්වය උදෙසා පිදෙන ඉහළම ගෞරවය ලෙස සැලකේ. එහි ජයග්‍රාහකයන් තීරණය කිරීමේදී නායකත්වය, ක්‍රමෝපාය, පාරිභෝගික අවධානය, කාර්ය මණ්ඩලයේ දායකත්වය, ක්‍රියාවලි කළමනාකරණය සහ ව්‍යාපාරික ප්‍රතිඵල ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනේ.

    “මෙය අපට හිමි වූ තවත් එක් සම්මානයක් පමණක් නොවෙයි. මෙය වසර ගණනාවක් තිස්සේ ගොඩනැංවූ පද්ධති, ප්‍රමිතීන් සහ ආයතනික පාලන ව්‍යුහයන්හි සාර්ථකත්වය වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයුමක්. නායකත්වයේ සිට සැලසුම්කරණය හරහා දෛනික මෙහෙයුම් දක්වා සෑම අදියරකදීම අප උසස් තත්වය වෙනුවෙන් නොසැලී කැප වන බව මින් මැනැවින් පිළිබිඹු වෙනවා.” CBL Foods International (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ මහතා පැවසීය.

    Ritzbury මේ වන විට SLS 1509:2015 වැනි ජාතික මට්ටමේ තත්ත්ව සහතික මෙන්ම ISO 9001:2015, ISO 22000:2018, FSSC 22000 Version 6 සහ BRCGS වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසකින්ද පිදුම් ලබා තිබේ. මේ සියල්ල Ritzbury සතු කළමනාකරණ පද්ධතිවල ශක්තිය, ආහාර සුරක්ෂිතතාව හා ප්‍රමිතිය සම්බන්ධ ජාත්‍යන්තර සම්මතයන්ට සෑම විටම අනුකූල වීම සහ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා දරන අඛණ්ඩ උත්සාහය යනාදියට සාක්ෂි දරයි.

    මෙම විශිෂ්ටත්වයේ උරුමය තුළින් පන්නරය ලබමින් Ritzbury මේ වන විට මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය හා තිරසාර වර්ධනය සම්බන්ධයෙන් නව සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. එමෙන්ම තිරසාරත්වය සහ ගෝලීය තරගකාරීත්වය ඉලක්ක කරගනිමින්, පුරෝගාමී විශිෂ්ටත්වය මූලික කරගත් අනාගතයක් උදෙසා Ritzbury නිරන්තරයෙන් කැප වී සිටී.

     

    ඡායාරූපය: CBL Foods International (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ මහතා 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී හිමි වූ සම්මානය පිළිගනිමින්