කොළඹට කනුමත යන මාර්ග දෙකක්. කැළණිතිස්ස සහ රාජගිරිය HSBC අසලින් ඇරඹෙයි

    October, 10, 2014

    කොළඹ නගරයේ දැඩි වාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රධාන මාර්ග වලට ඉහළින් කනු මත මාර්ග දෙකක් ඉදිකිරීමට රජය සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා පැවසුවේ මින් එක් මාර්ගයක් කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වාත් තවත් මාර්ගයක් රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව අසල සිට වෙස්ලි විද්‍යාලය දක්වාත් ඉදිකරන බවයි.

    “කැළණිතිස්ස විදුලිබලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවන මාර්ගයේ දුර කිලෝ මීටර් 06 ක් වෙනවා. මෙය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300 ක පමණ මුදල් වැයවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි ඉදිකිරීම් ලබන වසරේදී ආරම්භ කරන්නයි.“

    යනුවෙන් පේමසිරි මහතා අප සමග කීය.

    මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ණයදෙන ආයතන කිහිපයකින්ම ණය ලබාගැනීමට සැලසුම් කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාර්ගය කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ වරාය ආසන්නයෙන් කොළඹ කොටුව දක්වා ඉදිකරන අතර ඉදිකිරීම් අවසන්වූ පසුව බේස්ලයින් මාර්ගයේ ගමන් නොකර මෙම මාර්ගය ඔස්සේ කොළඹ කොටුවට පැමිණීමට අවස්ථාව ලැබේ.

    රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව ආසන්නයේ සිට වෙස්ලි විදුහල දක්වා කනුමත ඉදිවන මාර්ගයේ දුර කිලෝ මීටර් 04 ක් වන අතර එහි ඉදිකිරීම්ද ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    “මෙම මාර්ගය ඉදිකිරීම සඳහාත් ණය මුදල් ලබාගැනීමට අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා. මෙය සැලසුම් කර තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ තිබෙන දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලෙසයි.“

    යනුවෙන් පේමසිරි මහතා සඳහන් කළේය.