Scara Live ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන දකුණු ආසියාවේ ප්‍රථම Tapeball ආසියානු කුසලාන තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වයි

    April, 27, 2026

    ජාත්‍යන්තර තරගාවලි, වීඩියෝ ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව්වල නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන Scara ආයතනයේ සජීවී වැඩසටහන් ඒකකය වන Scara Live, ඇෆ්ගනිස්ථාන ටේප්බෝල් ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ප්‍රථම වරට 'ටේප්බෝල් ආසියානු කුසලානය' (Tapeball Asia Cup) දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම සුවිශේෂී අවස්ථාවත් සමඟ ශ්‍රී ලංකාවට ද ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ලෝක අවධානය දිනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. මෙය ජාත්‍යන්තර ටේප්බෝල් කවුන්සිලයේ (International Tapeball Council) අනුමතය ලත් ප්‍රථම නිල මහාද්වීපික ටේප්බෝල් තරගාවලියයි.

    මෙම සුවිශේෂී තරගාවලිය 2026 සැප්තැම්බර් මාසයේදී කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක් තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස කටයුතු කරන මෙම ටේප්බෝල් ආසියානු කුසලානය, දකුණු ආසියාව තුළ මෙම ක්‍රීඩාවේ වර්ධනය සහ පිළිගැනීම ඉහළ නංවමින් නව යුගයක ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානය.

    ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස කටයුතු කිරීම තුළින්, මෙම තරගාවලිය දකුණු ආසියාව තුළ ටේප්බෝල් ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තිය උදෙසා තබන යෝධ පියවරක් වනු ඇත. එමෙන්ම, මෙම ක්‍රීඩාවේ වර්ධනය සහ ජාත්‍යන්තර පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ලොවටම පෙන්වීමට ද මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

    කරච්චි නුවර වීදි ක්‍රීඩාවක් ලෙස ආරම්භ වූ ටේප්බෝල් ක්‍රිකට් යනු, Electrical tape එතූ ටෙනිස් පන්දුවකින් ක්‍රීඩා කරනු ලබන, ඉතා වේගවත් මෙන්ම බිම් මට්ටමේ ජනප්‍රිය ක්‍රීඩාවකි. ඕනෑම අයෙකුට පහසුවෙන් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව සහ සහජ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථාව නිසා ටේප්බෝල් ක්‍රීඩාව, මේ වන විට දකුණු ආසියාව සහ මැදපෙරදිග පුරා පැතිරුණු තරගකාරී ජනප්‍රිය ක්‍රීඩාවක් දක්වා වර්ධනය වී ඇත.

    Scara Live ආයතනය විසින් මෙම තරගාවලියේ විකාශන කටයුතු, කණ්ඩායම් කළමනාකරණය සහ ඩිජිටල් ප්‍රචාරණය ඇතුළු සමස්ත නිෂ්පාදන වගකීම මෙහෙයවනු ලබයි. මෙමඟින් ටේප්බෝල් ක්‍රීඩාව පිළිබඳ මින් පෙර කිසිදා නොවූ උනන්දුවක් ක්‍රීඩා ලෝලීන් අතර ඇති කිරීමට සුදුසු වේදිකාවක් ද නිර්මාණය කර දී ඇත. මෙහි මූලික අරමුණ වන්නේ සංස්කෘතිකමය වටිනාකම්වලින් පොහොසත් වූත්, ඉහළ උද්‍යෝගයකින් යුක්ත වූත් ක්‍රීඩා අත්දැකීමක් නව පරපුරේ ක්‍රීඩා ලෝලීන් වෙත ලබා දීමයි.

    "ටේප්බෝල් යනු නාගරික වීදි ආශ්‍රිත සංස්කෘතියත්, ප්‍රජා සහභාගීත්වයත් මත පදනම් වූ ක්‍රීඩාවක්. දකුණු ආසියාව සහ මැදපෙරදිග පුරා වඩාත් ස්වාභාවික ව්‍යාප්ත වූ, බහුලවම ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩා ඉසව්වක්. මෙම ටේප්බෝල් ආසියානු කුසලානය හරහා අප මෙම ක්‍රීඩාව විධිමත් කිරීමට සහ ජාත්‍යන්තරයට ගෙන යන්නට තීරණාත්මක පියවරක් තැබීමට බලාපොරොත්තු වෙනවා. Scara Live සමඟ අත්වැල් බැඳගැනීම තුළින්, තරගකාරීත්වයේ තියුණු බව මෙන්ම වර්තමාන ප්‍රේක්ෂකයින් තුළ මෙම ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට හැකි අයුරින් තරුණ පරපුරට මුල් තැන දෙන ඉසව්වක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා." යනුවෙන් ටේප්බෝල් කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක අමිර් සිද්දික් මහතා පැවසීය.

    ඇෆ්ගනිස්ථාන ටේප්බෝල් ක්‍රිකට් ආයතනයේ නියෝජිත ෂියර් රහ්මාන් ඛාතර් (Sheer Rahman Khater) මහතා මෙසේ අදහස් දැක්වීය, "මෙම ක්‍රීඩාව ජනප්‍රිය කරවීමේ මෙහෙවරෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් වූ මෙම ප්‍රථම ටේප්බෝල් ආසියානු කුසලානයට නායකත්වය දීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. ටේප්බෝල් ක්‍රීඩාව සැමවිටම බැඳී පවතින්නේ දැඩි කැපවීම, පහසුවෙන් ක්‍රීඩා කළ හැකි බව සහ සහජ දක්ෂතාවය සමඟයි. Scara Live ආයතනය මෙහි සජීවී විකාශන කටයුතු මෙහෙයවන බැවින්, කලාපය පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට අපූරු අත්දැකීමක් විඳ ගැනීමටත්, ටේප්බෝල් ක්‍රීඩාව විධිමත් තරගකාරීත්වයකින් යුත් නව යුගයක් කරා ගෙන යා හැකි තරගාවලියක් පිරිනැමීමටත් හැකි වනු ඇති බව අපට විශ්වාසයි."

    Scara ආයතනයේ නිර්මාතෘ මනෝජ් ජෝර්ජ් මහතා, "ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමාරම්භක ටේප්බෝල් ආසියානු කුසලානය යනු හුදෙක් තරගාවලියක් පමණක්ම නොවේ. එය වීදි ක්‍රීඩාවක උද්‍යෝගය, සහජ දක්ෂතාවය සහ දකුණු ආසියාව එක්සත් කරන ක්‍රිකට් සංස්කෘතියේ සුවිශේෂී සැමරුමක් ලෙස ද සැලකිය හැකියි. ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් ප්‍රමිතිය සහ ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් සමඟ මෙය සජීවීව අත්විඳීමට අවස්ථාව සැලසීම පිළිබඳව අප ඉතා උනන්දුවකින් කටයුතු කරනවා." යනුවෙන් සඳහන් කළේය.

    කලාපය පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන් ඉදිරි තරගාවලිය දෙස මහත් බලාපොරොත්තුවෙන් බලා සිටින අතර, ටේප්බෝල් ආසියානු කුසලානය මඟින් අනාගතයේ පැවැත්වෙන විධිමත් තරගාවලි, පුළුල් සහභාගීත්වය සහ ටේප්බෝල් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන ජාත්‍යන්තර අවස්ථාවන් සඳහා ද ශක්තිමත් පදනමක් වනු ඇත.

    මෙම ක්‍රීඩාවට ලැදි රසිකයින්ට මෙන්ම අලුතින් එක්වන අයට ද, කණ්ඩායම්, තරග කාලසටහන සහ විකාශන තොරතුරු ඇතුළු නවතම තොරතුරු දැනගැනීම සඳහා ටේප්බෝල් ආසියානු කුසලාන නිල Instagram පිටුව වන "Tapeball Asia Cup" follow කළ හැකිය.