June, 8, 2023
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 3,483 ක් දක්වා 26.2% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. 2023 අප්‍රේල් මාසයේ මෙම අගය දැක්වුණේ ඩොලර් මිලියන 2,761 ක් ලෙසිනි.
මේ අතර මෙම නිල සංචිත වත්කම් තුල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළ දී 27.9%කින් වැඩි වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 2,693 ක් ලෙසින් වාර්තා වී තිබුණු විදේශ විනිමය සංචිතය 2023 මැයි මාසයේ දී ඩොලර් මිලියන 3,444 ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත.
මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
March, 8, 2023
2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217 ක් හෙවත් ඩොලර් බිලියන 2.21 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක ඉහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183 ක් දක්වා 5.7% කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 5.3% කින් අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.
July, 12, 2022
ශ්රී ලංකා මහ බැංකුව සතු සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2022 ජූනි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,859 ක් ලෙසින් සටහන් වන අතර එය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 1,887 ට වඩා සුළු පහළ යාමක් වාර්තා කරයි.
එසේම ජූනි මාසය අවසන් වන විට මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත වන විදේශ විනිමය සංචිතයේ වටිනාකම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,750 ක් වශයෙනි. මැයි මාසයේ දී එය ඩොලර් මිලියන 1,776 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බැවින් මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 250කට සීමා වී ඇත.

May, 11, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,827 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එයින් විදේශ විනිමය සංචිතය ලෙස ඩොලර් මිලියන 1,618 ක් ලෙසින් දැක්වුණි.
කෙසේ වෙතත් මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් වන, චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙම මුදල දැනට කිසිවකට හෝ භාවිතා කළ නොහැකි බවයි.
ප්‍රශ්නය -
මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල පෙන්වන චීන මහජන බැංකුවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.5 කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිත කරන්න පුළුවන් මොනවාටද ?
පිළිතුර -
මොනවාටවත් පාවිච්චි කරන්න බැහැ, දැනට. අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවක් මේක රිලැක්ස් කරන්න කියලා, පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට.
අපි ඉල්ලීමක් කරලත් තියෙනවා. අපි ඒ ගෙන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ මුදල අඩුම ගානේ චීනෙන් ඉම්පොර්ට් කරන ඒවාටවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට.
ඒකත් එකක් අපි සාකච්ඡා කර ගෙන යනවා. උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් ඒ කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදාගන්න.
October, 28, 2021
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.
තමන් බැහැ දැකීම සඳහා චීන තානාපති චී.ෂෙන්හොන් මහතා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළේය.
කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.
චීන මහජන බැංකුව (PBOC) සහ ශ්රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.
ලබන මසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.
October, 8, 2021
(අ) කිසියම් පරිශීලකයෙකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටළු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම.
(ආ) අතථ්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත (Speculation) රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම.
(ඇ) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහල සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහාද අතථ්‍ය මුදල් භාවිතා කරනු ලැබිමට හැකි වීම.
(ඈ) විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදෑ ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත. මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනාගෙන නොමැත. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාරව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිතා කිරීමට අවසර නැත.
එබැවින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් එහිදී පවසන ලදී.
“ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (mining) හෝ, මුලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල් (Virtual Currency Exchanges) සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ“, යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
පවතින තත්ත්වය තුළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමනාකාරයේ තීරණයක් ගනු ඇත්දැයි අපට ඉදිරි දින කිහිපය තුළ දැකගත හැකි වනු ඇත.
September, 13, 2021
2021 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය විය. අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී පෙන්වා දේ.

මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය.

අපනයන ඉපැයීම්වලින් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හුවමාරුවලින් කොටසක් අඛණ්ඩව අවශෝෂණය කර ගන්නා අතර ම, අත්‍යාවශ්‍ය විදේශ විනිමය ගනුදෙනු නිසි පරිදි සිදුකිරීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම් මගින් ලැබුණු මුදල් කොටසක් උපයෝගී කරගනිමින් වෙළෙඳපොළට විදේශ විනිමය ද්‍රවශීලතාවය සපයන ලද බව 2021 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තා පෙන්වා දේ.
මේ අතර 2021 අගෝස්තු මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 49.38 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 225.50 ක් විකුණා ඇති බව මහ බැංකු ප්‍රකාශනයක වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් කල්පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමත් සමඟ 2021 වසරේ ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් විය. මෙම දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 1.8කට සමාන විය.
දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 වසරේ ජූලි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් වූ අතර, එම ප්‍රමාණය මාස 3.8ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් විය.

ඉහත වාර්තා කර ඇති සංචිත මට්ටම තුළ චීන මහජන බැංකුව සහ ශ්රී ලංකා මහ බැංකුව අතර අත්සන් කිරීමට යෙදුණු යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක) තුන් අවුරුදු ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම ඇතුළත් නොවේ. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම් සහ ශ්රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව සමඟ ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ලැබීමත් සමඟ 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගියේය.
September, 2, 2021
පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන - ශ්රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුව අතර පසුගිය දා (31) පැවති රාජ්ය තාන්ත්රික හමුවේදීය.
එසේම තවද ශ්රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම් ,තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්රවලට චීන වෙළදපළට ප්රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්රිතව පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බවද මෙහිදී මුදල් අමාත්යවරයා පැවසීය. තවද මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්යවරයා පවසා සිටියේය.
චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්ය තාන්ත්රික සාකච්ඡාව වීම විශේෂත්වයකි.
මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.
September, 1, 2021
March, 11, 2021
රටේ නිල විදෙස් සංචිත ඉහළ නැංවීම වෙනුවෙන් චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් අනුමත කර තිබේ.
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කර ඇත.
මෙය චීන යුවාන් බිලියන 10 ක ප්‍රමාණයකි.
2021 පෙබරවාරි මාසය අවසාන වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.55 ක් ලෙසින් වාර්තා විය. මෙයින් විදෙස් මුදල් සංචිතය දැක්වුණේ ඩොලර් බිලියන 4.09 ක් වශයෙනි.
Happy to confirm that the People's Bank of China has approved a #SWAP facility of 10 billion #Yuan (USD 1.5 billion) to the Central Bank of Sri Lanka. @CBSL @ChinaEmbSL #lka #SriLanka #China #economicrecoveryplan #GOSL
— Ajith Nivard Cabraal (@an_cabraal) March 10, 2021

Video Story