“Singer Got Talent” දෙවැනි අදියර උත්කර්ෂවත් ලෙස නිම වෙයි

    November, 30, 2015

    සිංගර් පවුලේ සාමාජිකයන්ගේ ගායන, නර්තන සහ වාදන කුසලතා එළිදැක්වීමේ මහා මංගල්‍යය වන Singer Got Talent ප්‍රසංගය පසුගියදා උත්කර්ෂවත් ලෙස නිම විය. දෙවැනි වරටත් පැවති ප්‍රසංගය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා ඉදිරිපත් කිරීම සඳහා මනා තෝතැන්නක් විය. එදිනෙදා රැකියා කටයුතුවලට අමතරව සෞන්දර්යාත්මක කටයුතු සඳහා කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ රැකියාව සහ පුද්ගලික ජීවිතයේ හර පද්ධතීන් සමබර කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම මෙම ප්‍රසංගයේ මූලික අරමුණයි.

    "කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ හැකියාවන් ඔප්නැංවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප සෑම විටම කැප වී කටයුතු කරනවා. තම-තමන්ට ආවේණික වූ විධි උපයෝගී කර ගනිමින් අද දින මේ සියලු දෙනා විශිෂ්ට දස්කම් පෙන්නුම් කළ බව ඉතාම ආඩම්බරයෙන් යුතුව සඳහන් කිරීමට කැමතියි." සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

    Singer Got Talent තරගාවලියේ දෙවැනි අදියරේ මූලික වටයේ තරග පසුගිය ජුනි මස සිංගර් ශ්‍රී ලංකා කළමනාකරණ කාර්යාලයේදී පැවැත්විණි. සිංගර් ශ්‍රී ලංකා, සිංගර් ෆයිනෑන්ස්, සිංගර් ශ්‍රී ලංකා කර්මාන්තශාලාව සහ රෙග්නිස් ලංකා සමාගම නියෝජනය කරමින් කාර්යමණ්ඩල සාමාජිකයෝ 60 දෙනෙක් තරගාවලිය සඳහා සහභාගී වූහ. කේවල ගායන අංශයෙන් තරගකරුවෝ 25 දෙනෙක්ද, යුගළ ගායන අංශයෙන් යුගළ 6 ක් ද, සමූහ ගායන අංශයෙන් කණ්ඩායම් 3 ක් ද, වාදන අංශයෙන් දෙදෙනෙක් ද දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබුහ. සිංගර් ශ්‍රී ලංකා කළමනාකරණ කාර්යාලයේදී පැවති දෙවැනි වටයේදී කේවල ගායන අංශයෙන් 12 දෙනෙක්ද, යුගළ ගායන අංශයෙන් යුගළ 4ක්ද, ගායන කණ්ඩායම් 2 ක් ද, වාදන අංශයෙන් දෙදෙනෙක් ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

    පසුගිය ඔක්තෝබර් මස කොළඹ ටවර් හෝල් රංග ශාලාවේ පැවති අවසන් මහා තරගය දැකබලා ගැනීමටත්, සිය සහෝදර කාර්යමණ්ඩල සාමාජිකයන් හට සහයෝගය ලබා දීමටත් සිංගර් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයෝ සිය ගණනින් සහභාගී වූහ. සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අවසන් මහා තරගයට සහභාගී වූයේය.

    කේවල ගායන අංශයේ ජය නිශාන්ත ද සිල්වා හිමි කර ගත් අතර දෙවැනි ස්ථානය නෙළුම් ද අල්විස්ටත්, තුන්වන ස්ථාන ෂෆ්රාස් සල්දීන් සහ ලක්ෂිකා ගමගේටත් හිමි විය.

    "එදිනෙදා රැකියා කටයුතුවලින් මොහොතකට බැහැරව අපගේ කුසලතාවන් ඉදිරිපත් කිරීමට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීමටත් අපට හිමි වූ මෙම අවස්ථාව බෙහෙවින් අගය කරනවා." නිශාන්ත ද සිල්වා සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කළේය.

    තරගාවලියේ පළමු අදියරේ ජයග්‍රහණය හිමි කර ගත් රුචිර ද සිල්වා පළමු අදියරේ අත්දැකීම් පිළිබඳ මතකය අවදි කළේය. "මෙය සාමාන්‍ය තරගාවලියකට වඩා වැඩි යමක් ලබා දෙන උළෙලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සඳහා සහභාගී වීමට ලැබීම සැබවින්ම නවමු අත්දැකීමක්. පසුගිය වසරේ තරගාවලිය සඳහා සහභාගී වූ තරගකරුවන් මියුසික් වීඩියෝවක් ද නිර්මාණය කළා."

    කේවල ගායන අංශයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මන්දාකිණි සමරසිංහ, ජගත් වීරසිංහ, උපේක්ෂා රවිහාරි, නදුන් වික්‍රමසිංහ සහ නිමේෂා පෙරේරා හට සැනසිලි ත්‍යාග හිමි විය.

    සුමුදු දිනේෂ් පලිහක්කාර සහ ගීශානි පලිහක්කාර යුගළ අංශයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. ජීවන් කාලිංග සහ උමේෂා මධුවන්ති එම අංශයේ දෙවන ස්ථානයත්, ෂෆ්රාස් සල්දීන් සහ නිශාන්තා ද සිල්වා තෙවන ස්ථානයත් හිමි කර ගත්හ.

    "මමත් බිරිඳත් දෙන්නාම රැකියාව කරන්නේ මුල්‍ය අංශයේ. මුල්‍ය අංශය කියන්නේ කාර්යබහුල ක්ෂේත්‍රයක් නිසා සෞන්දර්ය කටයුත්තකින් මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට හැකි වීම පිළිබඳ මමත් බිරිඳත් බෙහෙවින් සතුටු වනවා." හොඳම යුගළ ගායන අංශයේ ජය ලැබූ සුමුදු එලෙස සිය සතුට ප්‍රකාශ කළේය.

    නිශාන්ත ද සිල්වා, ෂෆ්රාස් සල්දීන්, ලක්ෂිකා ගමගේ සහ උපේක්ෂා රවිහාරි සමූහ ගායන අංශය ජය ගත් අතර, ඉරංග වික්‍රමාරච්චි වාදන අංශයේ ජය හිමි කර ගත්තේය.

    මෙරට විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස කීර්තියට පත් සිංගර් ශ්‍රී ලංකා සමාගම, ක්‍රීඩා, ප්‍රජා සත්කාරක සහ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවමින් සියලුම අංශවල කාර්යමණ්ඩල සාමාජිකයන් හට ප්‍රීතිමත් සහ නිරවුල් රැකියා පරිසරයක් නිර්මාණය කරලීම වෙනුවෙන් කැප වෙයි. සිය කාර්යමණ්ඩල සේවකයන්ගේ සහභාගීත්වයෙන් ධනාත්මක රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දක්වන කැපවීම නිසාම අඛණ්ඩව දෙවන වරටත් මෙරට රැකියාවේ නිරත වීමට වඩාත්ම සුදුසු සමාගම් (Great Place to Work) විස්ස අතරට එක් වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.මීට අමතරව මෙම සම්මාන උළෙලේදීම 1000 කට වැඩි කාර්යමණ්ඩල සාමාජික පිරිසකගෙන් සමන්විත මහාපරිමාණ ව්‍යාපාර සඳහා පිරිනැමෙන රන් සම්මානයෙන් ද පිදුම් ලැබීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.