SLIIT හි ‘Brain Busters with SLIIT – Season 3’ තරගය සිසුන් දැනුමෙන් පුබුදුවාලමින් අනාගත නායකත්වයන් දැරීමට පොළඹවමින් නිමාවට පත්වේ

    May, 31, 2023

    අධ්‍යාපනය හරහා සිසු දිවිය සාර්ථක කිරීමේ අරමුණ ඇතිව SLIIT විසින් පවත්වනු ලැබූ 'Brain Busters with SLIIT - Season 3' අවසන් මහා තරගය, සිසුන්ව ධනාත්මක සිතුවිලි වලින් පුබුදුවාලමින් සහ අනාගත නායකත්වයන් දැරීමට මෙන්ම ගෝලීය පුරවසියන්සේ කටයුතු කිරීමට පොළඹවමින් ඒ සඳහා ඔවුන්ව දිරි ගන්වමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය.

    පාසල් සිසු දරුවන් මහත් උනන්දුවෙන්, බලාපොරොත්තු දල්වාලමින් බලා සිටි රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහක් වන 'Brain Busters with SLIIT Season 3' අවසන් මහ තරගයේ ජයග්‍රාහී කිරුළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඩබ්.එච්. මන්දරා ඉඳුසරණි සහ බී.ඩබ්. ශවිඳු ආකාෂ් විසින් හිමිකර ගනු ලැබිණි. එම අවසන් මහ තරඟයේ පළමු අනුශූරතාවය කොළඹ 07, රාජකීය විද්‍යාලයේ ජී.සතිඳු එම්.කුරුගල සහ හිවිරු හංසක සේනානායක යන සිසුන් විසින් දිනාගනු ලැබූ අතර දෙවැනි අනුශූරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අකිත්මි සේනාරත්න සහ කුලනි කරුණාරත්න යන සිසුවියන් විසින් දිනා ගනු ලැබුවාය.

    SLIIT හි සභාපති හා කුලපති මහාචාර්ය ලක්ෂමන් රත්නායක, උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, පර්යේෂණ හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර උපකුලපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ, ශිෂ්‍ය සේවා කටයුතු හා සම්බන්ධීකරන ප්‍රධාන නිලධාරී උදිත ගමගේ, පර්යේෂණ ව්‍යවසාය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂිකා අසංගි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු SLIIT ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාසල් නියෝජනය කරමින් පැමිණ සිටි ජයග්‍රාහකයින් සඳහා ඔවුන් සම්මාන ප්‍රදානය කරන ලදී.

    මෙම තරඟයෙන් ජය ලැබූ ජයග්‍රාහකයින් පැසසුමට ලක් කරමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. ''TV1 නාලිකාව සමඟ එක්ව SLIIT විසින් සංවිධානය කළ 'Brain Busters with SLIIT Season 3' ජාතික මට්ටමේ තරඟාවලියේ ජයග්‍රාහකයින් සියලු දෙනා වෙනුවෙන් මාගේ හදපිරි සුබ පැතුම් එක් කර සිටිනවා. මෙම තරඟය ඉතාමත් සාර්ථකව පවත්වමින් ඒ සඳහා සහභාගී වී වෙහෙස වී වැඩ කළ සියලුම දෙනාගේ කැපවීම මා අගය කොට සළකනවා. SLIIT හි අප විසින් කරනු ලබන අධ්‍යයන සහ නවෝත්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරීම හරහා 'Brain Busters with SLIIT' වැනි තරඟ අවස්ථාවන් තුළින් අපගේ දැක්ම සාර්ථකව ඉටු කර ගැනීමට හැකි බව මා දැඩිව විශ්වාස කරනවා. විචාරාත්මකව සිතීමට, ගැටළු විසඳීමට සහ පරිකල්පන බුද්ධිය වර්ධනය කිරීමට සිසුන්ව දිරිමත් කරමින් හොඳින් කුසලතා ප්‍රගුණ වූ පුද්ගලයින් සහ වගකිවයුතු පුරවැසියන් බිහි කිරීම අපගේ අරමුණුයි. මෙවන්වූ රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා වගේම, ඉදිරියේදී තවත් අලුත් තරඟ සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.''

    අවසන් මහා තරගයේ විනිසුරු මඩුල්ල, උදිත ගමගේ, අසංගි ජයසිංහ සහ SLIIT ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ශිරෝමි කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය. ජයග්‍රාහණ හිමි කරගත් පාසල් සඳහා රුපියල් 200,000, 100,000 සහ රුපියල් 50,000 ආදී වටිනාකමින් යුත් ආකර්ෂණීය මුදල් ත්‍යාග හිමි විය. අවසන් තරඟකරුවන් සියලු දෙනා වෙත ජයග්‍රාහී තරඟ වට සඳහා ආකර්ෂණීය කුසලාන සහ සහතිකපත් මෙන්ම මුදල් ත්‍යාග ද ප්‍රධානය කෙරිණි.

    මෙහි මූලික වටයේ තරග සඳහා දිවයින පුරා පාසල්වල සිසුන් 5000 කට අධික පිරිසක් සහභාගී වූහ. මේ වසරේදී රූපවාහිනී තරග ආකෘතිය වෙනස් මුහුණුවරක් ගනු ලැබිණි. ඒ අනූව මීට පෙර තරග වට තුනකින් සමන්විතව තිබූ මෙම තරගය මෙවර තවත් වැඩි දියුණු කරමින් තරගවට 4ක් බවට පත්කර තිබුණි. සෑම පාසලක්ම නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙකු බැගින් වූ කණ්ඩායම් වශයෙන් පැවති මෙම තරගය සඳහා නව දැනුම මත පදනම් වූ ප්‍රශ්න විචාරාත්මක වටයකින්ද සමන්විත වීම විශේෂත්වයක් විය.

    මූලික තරග වටයෙන් අනතුරුව 2023 වසරේ ජනවාරි මාසයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ රූපවාහිනී තරඟ සඳහා පාසල් කණ්ඩායම් 27 ක් නියෝජනය කරමින් තරුණ දක්ෂ සිසුන් 54 දෙනෙකු තරග කළහ. එහිදී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ තරගකරුවන්ගේ දක්ෂතාවයන් අනූව වැඩිම ලකුණු ලබා ගත් ජයග්‍රාහී පාසල් කණ්ඩායම් තුන තෝරා ගන්නා ලදි.

    SLIIT ආයතනය විසින් මෙම රූපවාහිනී තරගයට පෙර ඒ පිළිබඳව සිසුන් කෙරෙහි පෙර සූදානමක් ඇති කිරීම හා ඒ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුම්වත් කිරීමට පියවර ගැනීම සුවිශේෂී වේ. ඒ අනුව 'Brain Busters with SLIIT' ව්‍යාපෘතියේ වාර 3ම, එම තරගය පිළිබඳව සිසුන්ට පෙර පුහුණුවක් හා ඔවුන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කරමින් එම කණ්ඩායම් ජයග්‍රාහී මනසකින් ශක්තිමත් කිරීමටත්, තරග නීති රීති පිළිබඳව හා නායකත්වය පිළිබඳව මෙන්ම රූපවාහිනී වැඩසටහනක් ඉදිරියේ ආත්ම විශ්වාසයෙන් යුතුව පෙනී සිටීමට සිසුන්ව දිරිගන්වමින් ඔවුන්ව ඊට පෙළඹවීමටත් අසංගි ජයසිංහ මහත්මිය හා මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා විසින් කටයුතු කරන ලදී.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසංගි ජයසිංහ මහත්මිය (Project Chair) මෙසේ පැවසුවාය. '' 'Brain Busters with SLIIT' යනු හුදෙක් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පමණක් ම නොවේ. මෙම තරගය සිසුන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරමින් විවිධ අවකාශයන් සඳහා ප්‍රවේශය ලබා දෙන හා ඔවුන්ව දිරිමත් කරන වැඩසටහනක් බවට පත්ව තිබෙනවා. මෙම සමස්ත වැඩසටහන ශ්‍රී ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳව දැනුම ඇතුළුව විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සොයා බැලීමටත්, ලෝක සාහිත්‍යය පිළිබඳව අගය කිරීමටත් ඉවහල් වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන තාක්ෂණයේ දියුණුව පිළිබඳව අවබෝධ කර ගැනීමට හා අනාගත අභියෝග සඳහා සූදානම් වෙමින් ගෝලීය පුරවැසියන් සේ ක්‍රියා කිරීමට සිසුන් උද්දාමයෙන් යුතුව පෙළඹවීම අරමුණු කර ගනිමින් සකස් කළ වැඩසටහනක්.''

    ''තවද අපගේ පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් විසින් ශ්‍රී ලාංකිකයන්ගේ සහ වෙනත් පුද්ගලයින්ගේ ගෝලීය ජයග්‍රහණ පිළිබඳ කතා ඇතුළත් තොරතුරු සහ ඒ ආශ්‍රිත දැනුම ලබා දීමටත් ඒ සඳහා සිසුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමටත් කටයුතු කරනවා. අද 'Brain Busters with SLIIT' වැඩසටහන හරහා සිසුන්ට සමබර ජීවිතයක් ගත කිරීම සඳහා අවබෝධය ලබා දෙමින් ඔවුන්ගේ වර්ධනයට සහයක් වූවා. එසේම පිට පළාත්වල තරුණ සිසුන්ට ද අසීමාන්තික දැනුමක් ලබාදෙමින් ඔවුන් තුළ මෙම වැඩසටහන සම්බන්ධයෙන් උද්යෝගයක් හා උනන්දුවක් ඇති කර තිබෙනවා.''

    මහාරාජා සමූහ ව්‍යාපාරයේ TV1 නාලිකාව ඔස්සේ සතිපතා සෙනසුරාදා දිනවල ‘Brain Busters with SLIIT’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන විකාශය වූ අතර මෙම තරග සියල්ල රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

    සිසුන්ගේ දක්ෂතාවයන් හා ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීම සඳහා වන සුහද තරගයක් ලෙස 'Brain Busters with SLIIT’ වැඩසටහන, 2018 වසරේ දී දීපව්‍යාප්ත සාමාන්‍ය දැනුම පිළිබඳ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ලෙස ආරම්භ විය. මෙම තරගය දිවයින පුරා සිටින පාසල් සිසුන්ගේ බුද්ධි මට්ටම සහ සාමාන්‍ය දැනුම පුළුල් කිරීමට උපකාරී වන අතරම එය ඔවුන්ගේ විචාරාත්මක පරිකල්පන කුසලතා සහ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීමට ඔවුන්ව පොළඹවනු ලබයි. වසර ගණනාවක් පුරා මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන දරුවන්ගේ දැනුම මට්ටම පරීක්ෂා කිරීම සඳහා කාලීන සිදුවීම්, විද්‍යාව සහ තාක්ෂණය, කලාව සහ සාහිත්‍යය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව, ක්‍රීඩා යන මාතෘකා රාශියක් ආවරණය කර ඇත.

    ‘Brain Busters Season 4’ තරගය ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව SLIIT ආයතනය ප්‍රකාශ කරයි. ඒ සඳහා උනන්දුවක් දක්වන පාසල් වල‍ට එළඹෙන කාල සිමාව තුළ ජයග්‍රාහි අපේක්ෂාවක් ඇති කර ගනිමින් ඒ හා සම්බන්ධ වීමට අවස්ථාව තිබේ. ඒ පිළිබඳව වැඩි විස්තර asangi.j@sliit.lk විද්‍යුත් තැපෑලෙන් හෝ 0117 544 801 අංකයට ඇමතීමෙන් ලබා ගැනීමට හැකිය.