SLIM SMEDA රිදී සම්මානයෙන් PrintMass පිදුම් ලබයි

    September, 6, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක් වන PrintMass සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන(SLIM) සංවිධාන කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) B2B අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනැමිණි. 2009දී කුඩා මුද්‍රණාලයක් ලෙස ඇරැඹි PrintMass වර්තමානයේදී ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගමක් බවට පත් වී තිබේ. දිවයින පුරා විසිරී සිටින ඔවුන්ගේ පාරිභෝගිකයන් අතර රාජ්‍ය ආයතන, සංස්ථාපිත සමාගම්, මූල්‍ය ආයතන සහ තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ව්‍යාපාර ආයතන රැසක් වේ.

    නවීන තාක්ෂණය හා නූතන උපකරණ භාවිත කරමින් සහ පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් PrintMass සමාගම ග්‍රැෆික් නිර්මාණ, ඩිජිටල් මුද්‍රණ කටයුතු, උසස් තත්ත්වයේ වර්ණ සහ වාණිජ මුද්‍රණ කටයුතු, පොත් නැවීම සහ බැඳීම වැනි සේවා ගණනාවක් එකම ස්ථානයකින් සපයයි. 2017දී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා බස්නාහිර පළාතේ මධ්‍ය පරිමාණ අංශයේ ‘වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා’ සම්මානය දිනා ගත්තේය. අභියෝගාත්මක කාල පරිච්ඡේද ගණනාවක් පසු කරමින් සිය ව්‍යාපාරයේ තිරසාර බව රැක ගැනීම වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය අගයමින් එම සම්මානය පිරිනැමිණි. ඊට අමතරව තවත් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් PrintMass පිදුම් ලබා තිබේ. “පාරිභෝගිකයන්ට කලට වේලාවට සේවා සැපයීමට අපි සෑම අවස්ථාවකම උත්සාහ කරනවා. අපේ සුවහසක් පාරිභෝගිකයන්ට උසස් සහ ගුණාත්මක සේවාවක් සැපයීම අපේ ප්‍රමුඛ අරමුණයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ සම්මානයකින් පිදුම් ලැබීම අපට ආශිර්වාදයක්. මේ සෑම ජයග්‍රහණයක් පසුපසම ඉන්නේ අප සමාගමේ කාර්ය මණ්ඩලය සහ අප කෙරෙහි විශ්වාසය තැබූ සුවහසක් පාරිභෝගිකයන්.” PrintMass කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා පැවැසුවේය.