SLT ඩිජිටල් සේවා සමාගම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් විශේෂාංග ‍රැසකින් සමන්විත වෙබ් අඩවියක් නිර්මාණය කරයි

    May, 10, 2021

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී ආයතනයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ඩිජිටල් සේවා (SLTDS) පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවීණත්වය විදහා පාමින්  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල වෙබ් අඩවිය වන www.basl.lk නව විශේෂාංග ‍රැසකින් යුක්තව යාවත්කාලීන කිරීමට පසුගියදා පියවර ගත්තේය. පුළුල් පරාසයක වෙබ් අඩවි නිර්මාණ සේවාවන්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණ සේවා සමඟින්, SLTDS සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා මනා පි‍ටුවලක් වනු ඇත.

    මෙම වෙබ් අඩවිය නවීකරණය කිරීම සිදුකරන ලද්දේ එහි බොහෝ කාර්යයන් ඩිජිටල්කරණය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. නව වෙබ් අඩවිය, එහි දේශීය සහ විදේශීය සාමාජිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රවේශයක් ලබා දීම අරමුණු කර ගෙන ඇති අතර, එහි සුවිශේෂී අංග හරහා තම සාමාජිකයින්ට ඊ-ෂොප් පහසුකම්, අන්තර්ජාලය හරහා ගෙවීම් පහසුකම්, සාමාජික පිවිසුම් ප්‍රවේශ හරහා සාමාජිකත්වය යාවත්කාලීන කිරීමේ පහසුකම් වැනි නවාංග රැසක් හඳුන්වාදී ඇත. එමෙන්ම මෝටර්රථ සඳහා ලේබල් ලබාගැනීම සහ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි වීම පමණක් නොව මෙය හරහා 50 කට අධික BASL අන්තර්ජාල සම්මන්ත්‍රණ සංඛ්‍යාවක් සඳහා ප්‍රවේශය ලබා දෙයි. තව ද, නව අන්තර්ජාල ‍රැකියා බැංකුවක් ද මෙමගින් හඳුන්වා දී ඇත.

    බොහෝ ශ්‍රී ලාංකිකයින් මූලික වශයෙන්ම ජංගම දුරකථන හරහා වෙබ් අඩවියට පිවිසෙන බැවින් මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන හරහා භාවිතා කිරීමට ද සුදුසු පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

    2021 ජාතික නීති සම්මේලන සමාප්ති උළෙලේදී මෙම නවතම වෙබ් අඩවිය ජනගත කරන ලද අතර, අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔබේසේකර මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා ඇතුළු තවත් බොහෝ සම්භාවනීය අමුත්තන් ‍රැසක් මේ සඳහා සහභාගී විය.

    උත්සවය අමතමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි ලේකම් රජීව් අමරසුරිය මහතා මෙසේ පැවසීය. “පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය වෘත්තීය සංවර්ධන කටයුතු සියල්ලම අන්තර්ජාලය හරහා සිදුකරන ලද අතර, ඒ හා සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සහ සාමාජිකයන් සම්බන්ධ කරගැනීම් සිදුකරනු ලැබුවේ අන්තර්ජාලය හරහායි. මෙහි  ඊළඟ අදියර වශයෙන් මෙම නව වෙබ් අඩවිය එළිදැක්වීමට අප තීරණය කළා".

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට සහ එහි කළමනාකරණයේ අනෙකුත් සාමාජිකයින් විසින් දක්වන ලද සහයෝගයට තම කෘතවේදීත්වය ප්‍රකාශකල ඔහු, ශ්‍රී ලංකා ටෙලිකොම් ඩිජිටල් සේවා ආයතනයට ද තම සංගමයේ අවශ්‍යතාවය හදුනාගනිමින් ක්‍රියාකාරී හා කාර්යක්ෂම වෙබ් අඩවියක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව තම ස්තූතිය පුද කරන ලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා, “මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඩිජිටල් පරිවර්තනය හා සම්බන්ධ වැදගත් දිනයක්” යැයි පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් එම මහතා පැවසුවේ සාමාජිකයින්ට තවදුරටත් භෞතිකව නීතිඥ සංගමය වෙත නොගොස්  එහි සේවාවන් හා ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

    නව අංගසම්පූර්ණ අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දිගුකාලයක් පුරා පැවති අවශ්‍යතාවයක් බව පැවසූ ඔහු, තම ධුර කාලය තුළ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙහි ලේකම් රජීව් අමරසුරිය මහතා ඇතුළු සෙසු නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත් මෙම කාර්යය ඉතා හොදින් නිම කිරීම පිළිබඳව තම ස්තූතිය පුද කරන බවත් පැවසීය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ඩිජිටල් සේවා හි ප්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ගේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබදව තමන් ද අතිශයින් සතුටට පත්වන බවයි. "අලුතින් දියත් කරන ලද වෙබ් අඩවියට අමතරව, නව තාක්‍ෂණය හා අනුකූල වෙමින්, නව ප්‍රවණතා හදුනාගනිමින් ඔවුන් සිය ක්‍රියාකාරකම් බොහොමයක් ඩිජිටල්කරණය කිරීමට සමත් ව තිබෙනවා. මෑතකදී සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන ලද වෙබ් සංවාද මාලාව, ඩිජිටල්කරණය සදහා ඇති ඔවුන්ගේ කැපවීම සැබවින්ම පෙන්නුම් කරන සාක්ෂියක්. රට පුරා ව්‍යාප්තව ඇති ශාඛා සංගම් 85 වඩා හොඳින් සම්බන්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකාරිත්වය විසින් සකස් කර ඇති මාර්ග සිතියම භාවිතා කිරීමට නම් පූර්ණ ක්‍රියාකාරී වෙබ් අඩවියක් අත්‍යාඅවශ්‍යයි" ඔහු පැවසීය.

    ඡායාරූපය: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව වෙබ් අඩවිය ජනගත කරන අවස්ථාවට එක්වෙමින් අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ඩිජිටල් තොරතුරු සේවා ඩිජිටල් ව්‍යාපාර මෙහෙයුම් අංශ ප්‍රධානී දුමින්ද චන්ද්‍රසිරි මහතා සහ වෙබ් සංවර්ධන කණ්ඩායමේ ප්‍රධානී ධනුෂ්ක ගංගොඩ මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනී සුරනී සමරසේකර, නීතිඥ ඔෂාන් උභයරත්න මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනෙකුත් නිලධාරීන්.