SLT-MOBITEL වෙතින් 93 Fife Residencies වෙත අති නවීන සන්නිවේදන හා ඩිජිටල් තාක්ෂණ පහසුකම්

    August, 11, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, පසුගියදා 93 Fife Residencies (පුද්.) සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ 93 Fife Residencies හි අති-සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස සඳහා නවීනතම සන්නිවේදන පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.

    කොළඹ කොටුව, SLT-MOBITEL iuqyfha ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. SLT වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා සහ ප්‍රධාන විකුණුම් හා ප්‍රාදේශීය නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා ද, 93 Fife Residencies (පුද්.) සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරුන් වන එම්. එම්. මොහිනුදීන් සහ එම්. එම්. ෆසුහුදීන් යන මහත්වරු ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මීට අමතරව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

    මෙම හවුල්කාරීත්වය යටතේ 93 Fife Residencies නිවාස සංකීර්ණය තුළ Smart Building සංකල්පයට ගැළපෙන අතිනවීන ඩිජිටල් තාක්ෂණ හා සන්නිවේදන පහසුකම් ස්ථාපිත කිරීමට SLT-MOBITEL කටයුතු කරනු ඇති අතර, එමගින් එහි නිවැසියන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණයේ මහිමය අත්විඳීමට මහඟු අවස්ථාවක් සලසා උදාවනු ඇත.

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන වාණිජ කේන්ද්‍රයක් ලෙස සැලකෙන කොළඹ 05 ප්‍රදේශයේ පර්චස් 40 ක භූමියක 93 Fife Residencies සුඛෝපභෝගී නිවාස එකතුව පිහිටා තිබේ. නව යුගයට ගැළපෙන සුඛෝපභෝගී නිවාස සඳහා ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීමේ පියවරක් වශයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණයට, නවීනතම පහසුකම් වලින් සමන්විත නිවාස 42 ක් ඇතුළත් වී ඇත.

    නවීන ඩිජිටල් තාක්ෂණය යනු වර්තමානයේ සුඛෝපභෝගී ජීවන රටාවක අනිවාර්ය අංගයකි. 93 Fife Residencies හි සන්නිවේදන සේවා සම්පාදකයා ලෙස,  එහි සියලුම නිවාස වෙත නවීනතම SLT-Mobitel Fibre තාක්ෂණය පදනම් කරගත් ඩිජිටල් සේවාවන් ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. මෙම තාක්ෂණය ඔස්සේ 100 Mbps දක්වා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. එමෙන්ම SLT-Mobitel PEOTV සම්බන්ධතාව නිසා, කවර කාලගුණ තත්ත්වයක් යටතේ වුවද තමන් වඩාත්ම ප්‍රියකරන රූපවාහිනී වැඩසටහන් සිත් සේ නැරඹීමට 93 Fife Residencies හි පදිංචිකරුවන්ට හැකි වනු ඇත.

    “93 Fife Residencies යනු අලංකාර ගෘහ නිර්මාණ සැලසුම් සමග නවීනතම පහසුකම් එක්තැන් කරන සුවිශේෂී, සුඛෝපභෝගී නිවාස එකතුවක්. එහි නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට ඉහළම තලයේ ඩිජිටල් හා සන්නිවේදන පහසුකම් ලබාදීම උදෙසා මේ ආකාරයට SLT-MOBITEL සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්.”  93 Fife Residencies  හි අධ්‍යක්ෂ එම්. එම්. මොහිනුදීන් මහතා පැවසී ය.

    “මේ සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය සමග එක්වෙමින් එහි පදිංචිකරුවන්ට විශිෂ්ට තලයේ සම්බන්ධතා විසඳුම් සහ ‘Smart Home’ තාක්ෂණයන් පිරිනැමීමට හැකිවීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා. මෙය මෙරට නාගරික ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු අතරම ඩිජිටල් සමාජයක් බිහිකිරීම උදෙසා තබන ලද තවත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකියි” SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා පැවසී ය.

    ඡායාරූපය: (වමේ සිට) (SLT වෙනුවෙන්) ජ්‍යෙෂ්ඨ විධායක සහකාර කළමනාකාරිනී චිත්‍රා කුමාරි මහත්මිය, කළමනාකරු කැලුම් ප්‍රියන්ත මහතා, සාමාන්‍යාධිකාරී චේතන අත්තනායක මහතා, ප්‍රධාන විකුණුම් හා ප්‍රාදේශීය නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා සමග (93 Fife Residencies සමාගම වෙනුවෙන්) අධ්‍යක්ෂ එම්. එම්. මොහිනුදීන් මහතා, අධ්‍යක්ෂ එම්. එම්. ෆසුහුදීන් මහතා සහ ගණකාධිකාරී එම්. ඒ. එන්. එෆ්. මොහොමඩ් මහතා