SLT-MOBITEL වෙතින් Mulberry Residential Complex වෙත නවීන Fibre විසඳුම්

    September, 19, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, Lanka Realty Investments PLC සමග එක් වී Mulberry Residential complex වෙත නවීන Fibre  තාක්ෂණික සේවා පිරිනැමීමට පියවර ගෙන තිබේ.

    මේ සඳහාවන ගිවිසුමට SLT-MOBITEL ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (Consumer Business) ඉමන්ත වීරකෝන් මහතා සහ Lanka Realty Investments PLC හි අධ්‍යක්ෂ සහ වත්කම් කළමනාකරු දුෂ්මන්ත කසුන් මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදි. මෙම අවස්ථාවට දෙපාර්ශ්වය නියෝජනයකරන තවත් නිලධාරීහු පිරිසක්ද එක්වූහ.

    Lanka Realty Investments PLC යනු නවීනතම පහසුකම් සහිත සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන සමාගමකි. කොළඹ 09 ප්‍රදේශයේ පිහිටා ඇති Mulberry සුඛෝපභෝගී නිවාස සංකීර්ණය, සහනදායී මිලගණන් යටතේ ලබාගත හැකි සුඛෝපභෝගී නිවාස 121 කින් සමන්විත ය. ව්‍යායාම මධ්‍යස්ථාන 2 ක්, පිහිනුම් තටාක 2 ක් ඇතුළු නවීන පහසුකම් රාශියක් මීට ඇතුළත් වේ.

    මේ වනවිට SLT-MOBITEL මෙබඳු නවීන නිවාස ව්‍යාපෘති රැසකට Fibre තාක්ෂණය මූලික කරගත් සන්නිවේදන විසඳුම් සපයා ඇත. තාක්ෂණයේ දියුණුව ඔස්සේ වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම, නිවැසියන්ට නවීන ඩිජිටල් පරිසරයක් තුළ උපරිම ප්‍රතිලාභ අත්කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.

    Mulberry Apartments සමග මෙම ගිවිසුම අත්සන් තබන ලද්දේ, මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමේ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙනි. මෙමගින් Mulberry Apartments නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට අන්තර්ජාලය පරිශීලනය කිරීම, වීඩියෝ දර්ශන නැරඹීම සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවන්හි යෙදීම වැනි බොහෝ කටයුතු ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට හැකි වනු ඇත.

    “Mulberry Apartments සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ දියුණු Fibre Optic ජාලය මේ නිවාසවල පදිංචිකරුවන්ට අධිවේගී සම්බන්ධතාවක් සමගින් ඩිජිටල් විසඳුම් රාශියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත.” SLT-MOBITEL ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (Consumer Business) ඉමන්ත විජේකෝන් මහතා පැවසී ය.

    “ප්‍රමිතිය සම්බන්ධයෙන් නව ආදර්ශයක් දෙමින්, පරිසරය සමග නිරායාසයෙන් බද්ධවන ප්‍රජාවන් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි. SLT-MOBITEL සමග අත්වැල් බැඳගැනීම මගින් අපගේ නිවාසවල පදිංචිකරුවන්ට නවීනතම තාක්ෂණය සමගින් සැබැවින්ම සම්බන්ධිත ජීවන රටාවක පහසුව අත්විඳීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම මෙය විශිෂ්ටත්වය සමග නවීනතම විසඳුම් තිළිණ කිරීමට Mulberry Apartments ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්.” Lanka Realty Investments PLC හි අධ්‍යක්ෂ සහ වත්කම් කළමනාකරු දුෂ්මන්ත කසුන් මහතා පැවසී ය.

    SLT-MOBITEL සහ Lanka Realty Investments PLC අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, Mulberry Apartments හි පදිංචිකරුවන්ට සැබෑම සුඛෝපභෝගී ජීවන රටාවක අත්දැකීම තිළිණකරන සුවිශේෂී පියවරක් වනු නිසැක ය.

     

    ඡායාරූපය: SLT-MOBITEL ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (Consumer Business) ඉමන්ත වීරකෝන් මහතා සහ Lanka Realty Investments PLC හි අධ්‍යක්ෂ සහ වත්කම් කළමනාකරු දුෂ්මන්ත කසුන් මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. දෙපාර්ශ්වයේ තවත් නිලධාරීහු පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.