SLT-MOBITEL සහ STEMUP Foundation හවුල්කාරීත්වයෙන් දරුවන් සඳහා නොමිලේ Coding පාඨමාලා පවත්වයි

    August, 7, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, STEMUP Foundation සමඟ පවතින හවුල්කාරීත්වය යටතේ මීට පෙර වැලිසර, මොරටුව සහ පානදුර පිහිටි SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානවලදී දරුවන්ට නොමිලේ Coding පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී තිබිණි. මෙහි ඉදිරි පියවරක් වශයෙන් මේ වනවිට එම පාඨමාලා කොළඹ, මඩකලපුව, කිරිමැටියාන, හඟුරන්කෙත, සහ දොළුව යන ප්‍රදේශවල මහජන පුස්තකාල හරහා ද ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය කටයුතු යොදා තිබේ. තවද ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සමඟ එක්වී 2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට දිවයින පුරා මහජන පුස්තකාල 15 කදී මෙම පාඨමාලා පැවැත්වීම SLT-MOBITEL හි අපේක්ෂාව වී ඇත.

    ඩිජිටල් යුගය තුළ සාර්ථක වීමට සහ ඒ ඔස්සේ රටේ තාක්ෂණික සංවර්ධනයට දායක වීමට අවශ්‍ය ආකල්ප හා කුසලතා දරුවන් තුළ වර්ධනය කරවීම අතිශයින් වැදගත් බව SLT-MOBITEL විශ්වාස කරයි.  STEMUP Foundation සමඟ එක් වී මෙම පාඨමාලා දරුවන් වෙනුවෙන් නොමිලේ පැවැත්වීමට SLT-MOBITEL පියවර ගෙන ඇත්තේ එහෙයිනි.

    STEMUP Foundation යනු විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (Science, Technology, Engineering, and Mathematics - STEM) යන විෂයන් හැදෑරීමට දරුවන් උනන්දු කරවීම සිය මූලික අරමුණ කරගත් ලාභ නොලබන සංවිධානයකි.

    පුස්තකාලවලදී දරුවන්ට නොමිලේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන විෂයන්ට අදාළ සංකල්පීය දැනුම ලැබීමට අවස්ථාව සලසා දීම මෙම ඒකාබද්ධ වැඩසටහනේ මූලික ඉලක්කයවන අතර, එම මෙහෙවර වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දායක වීමට උපදේශකවරු පිරිසක්ද ඉදිරිපත් වී සිටිති.

    Coding යනු STEM අධ්‍යාපනය මත පදනම් වූ විෂයක්වන අතර, එය සිසු දරුවන්ගේ නිර්මාණශීලිත්වය, තාක්ෂණික නිපුණතාව ප්‍රවර්ධනය කරයි. මෙම නිපුණතා සංවර්ධන වැඩසටහන් හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවිධ මානයන් ඔස්සේ සිය පර්යේෂණ කටයුතු කරමින් විවිධ ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙම Coding පාඨමාලා මාසිකව පැවැත්වීමට සැලසුම්කර ඇති අතර, මෙය SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානවල සහ ඉහත සඳහන් මහජන පුස්තකාලවල පැවැත්වේ.

    අවුරුදු 8 ත් 17 ත් අතර පසුවන දරු-දැරියන්ට http://coderdojo.lk ඔස්සේ මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි වේ.