SLT-MOBITEL ‘සුලෝහිත සංග්‍රාමය’ සමඟ එක් වී ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක් දියත් කරයි

    April, 30, 2026

    ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ.

    කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පසුගියදා පැවති 95 වන සුලෝහිත ක්‍රිකට් තරගයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු මුලින්ම අනාවරණය කරන ලදී. සමාජ සත්කාර යනු ක්‍රීඩා පිටියෙන් ඔබ්බට ගොස් සමස්ත සමාජය වෙත විහිදී පැතිරෙන දෙයක් බව අවධාරණය කරනු පිණිස, ‘Play for the Planet’ යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය රැකගැනීමේ වැදගත්කම වඩාත් හොඳින් පෙන්වා දීමේ අරමුණින් මෙම අන්තර් පාසල් ක්‍රිකට් තරගය මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ කිරීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

    කඩොලාන පරිසර පද්ධතියක් යනු ස්වභාවධර්මය තුළ පවතින වඩාත්ම ආශ්චර්යමත් පරිසර පද්ධතිවලින් එකක් බව බොහෝ දෙනෙක් නොදනිති. කඩොලාන ශාකවල මුල් පොළොව තදින් වෙළාගෙන පවතින බැවින් ඒවා උදම් රළ වැනි ආපදාවලින් වෙරළබඩ පරිසරය සහ මිනිසුන් ආරක්ෂා කරන අතර, විවිධ ජීවීන්ට අභය භූමියක් වෙමින් ජෛව විවිධත්වය රැකගැනීමටද උපකාරී වෙයි. ජල තලයට යටින් විහිදී පැතිරී පොළොව තුළට දිව යන කඩොලාන මුල් ශතවර්ෂ ගණනාවක් පුරා නිහඬව කාබන් ගබඩා කොට තබාගනී. ඒ ඔස්සේ දේශගුණ විපර්යාසවලට එරෙහි දැවැන්ත සටහනක නිහඬවම නියැළෙයි.

    පරිසරය හා ජීවීන් වෙනුවෙන් මෙතරම් වටිනා මෙහෙවරක් ඉටුකරන කඩොලාන ශාක මේ වන විට ලොව වඩාත්ම  බරපතළ ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති පරිසර පද්ධති අතරින් එකක් බවට පත් වී තිබේ. නාගරික සංවර්ධනය සහ පාරිසරික විනාශය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කඩොලාන පරිසර පද්ධති විනාශ වූ විට ඒවායෙහි සිර වී පවතින කාබන් නැවත පරිසරයට එක් වේ. එමඟින් පරම්පරා ගණනාවක් පුරා මෙම ශාක මඟින් පරිසරයට සිදු වූ යහපත අවසන් වී, දේශගුණ විපර්යාස වඩාත් දරුණු අතට හැරීමට ඉඩ ඇත.

    SLT-MOBITEL හි ප්‍රමුඛතම ESG ව්‍යාපෘතිය වන ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නීල කාබන් පාරිසරි පද්ධති රැකගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන වටිනා පාරිසරික මෙහෙවරකි. පරිසරයට එල්ල වී ඇති තර්ජන අවම කිරීම, හානි වූ භූමි ප්‍රදේශ යථා තත්වයට පතිකිරීම සහ ඒ ඔස්සේ දේශගුණික අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වන ආකාරයට ශ්‍රී ලංකාව පාරිසරික වශයෙන් ශක්තිමත් කිරීම එහි ප්‍රධානතම අරමුණු වේ.

    මෙම ව්‍යාපෘතිය හරහා SLT-MOBITEL පාරිසරික යහපත, ප්‍රජාවන් සවිබලගැන්වීම සහ තිරසාර සංවර්ධනය සඳහා ඇති කැපවීම නැවත වරක් තහවුරු කරයි. දේශීය පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ ජනතාවට රටේ ස්වභාවික උරුමයන්හි වැදගත්කම අවබෝධ කර දීම මෙම වැඩසටනේ ප්‍රධානතම ඉලක්ක වේ. මෙම මෙහෙවර ඔස්සේ අනාගතයේදී පරිසරයේ යහපත උදෙසා තවතවත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අන් අයද දිරිමත් කිරීමට තමන්ට හැකි වනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ SLT-MOBITEL මේ වන විට ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, මහනුවර පාරිභෝගික සමාජය සහ Million Laugh Entertainment (පුද්.) සමාගම සමඟ එක් වී වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ආනවිලුන්දාව තෙත් බිමේ  කඩොලාන ශාක 400 ක් රෝපණය කර තිබේ. කඩොලාන ශාක රෝපණය කිරීමේ අවස්ථාවට ආනන්ද විද්‍යාලයේ, නාලන්ද විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ නියෝජිතයෝ සහභාගී වූහ.

    මෙම කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහන විශාල පිරිසකට පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාදුන් අවස්ථාවක්ද විය. එයට සහභාගී වූවන්ට දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා නීල කාබන් පරිසර පද්ධති මඟින් ඉටුවන මෙහෙවර මෙන්ම කඩොලාන ප්‍රතිසංස්කරණය හා වෙරළබඩ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රජාවන් සතු භූමිකාවෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් වීමට හැකියාව ලැබිණි. එමෙන්ම එය තිරසාරත්වය යනු නිශ්චිත ක්ෂේත්‍රවලට සීමා වූවක් නොවන බවත්, අනාගතය වෙනුවෙන් පරිසරය රැකගැනීම කාගේත් පොදු වගකීමක් බවත් අවධාරණය කළ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ.