SLT-MOBITEL ‘Entrepreneurship Studio’ පුහුණු සැසි සඳහා නවක ව්‍යාපාර 20 ක් තෝරාගැනේ

    September, 23, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Entrepreneurship Studio’ ව්‍යවසායකත්ව වැඩසටහනේ 2021-2ි022 අදියර සඳහා මේ වනවිට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර 20 ක් තෝරාගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යවසායකයන්ට පුළුල් මට්ටමේ උපදේශන හා මාර්ගෝපදේශන සැසි මාලාවකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

    Entrepreneurship Studio වැඩසටහන ආරම්භ කරන ලද්දේ රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් සම්බන්ධයෙන් පෙරළියක් ඇතිකිරීමේ හැකියාව සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ අරමුණිනි. මෙම වැඩසටහන ඔස්සේ, තාක්ෂණ ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමේ හැකියාව සහිත නව නිෂ්පාදන හා විසඳුම් හඳුන්වා දීම සඳහා මෙම නවක ව්‍යාපාර දිරිගන්වනු ලැබේ. වැඩසටහන අවසානයේදී තෝරාගනු ලබන ජයග්‍රාහකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා රු. මිලියනයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

    SLT සමූහයේ නවතම පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන වන ‘The Embryo’ යටතේ ‘Entrepreneurship Studio’ වැඩසටහන ක්‍රියාත්මක වේ. අති-නවීන ඩිජිටල් විසඳුම් බිහිකිරීම සඳහා සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම ‘The Embryo’ හි මූලික ඉලක්කයයි.

    තෝරාගන්නා ලද ව්‍යවසායකයන්ට සති 14 ක කාලයක් පුරා විවිධාකාර වූ පුහුණු හා මගපෙන්වීම් සැසි, වැඩමුළු සහ පුහුණු කඳවුරු ආදියට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් පිරිසක් විසින් මෙම වැඩමුළු හා පුහුණු සැසි මෙහෙයවනු ලබන අතර, ව්‍යාපාරික දැක්ම, පාරිභෝගික හා නිෂ්පාදන සංවර්ධනය, අලෙවිය, නීතිය සහ බුද්ධිමය දේපළ, යටිතල පහසුකම් හා තාක්ෂණය සහ ආදායම වර්ධනය කරගැනීම වැනි කරුණු කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමුවනු ඇත.

    පසුගිය මැයි මාසයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වනවිට ව්‍යාපාර 20 ක් කෙටි-ලැයිස්තුගත කර තිබේ. ‘Entrepreneurship Studio’ වැඩසටහන වෙතින් ලැබෙන මෙම මගපෙන්වීම හා පුහුණුව, මෙම ව්‍යාපාර වල දීර්ඝකාලීන සාර්ථකත්වයට හා තිරසාරත්වයට අතිශයින් වැදගත් වනු නිසැක ය.

    SLT-MOBITEL හි ඉහළ නිලතල දරන ප්‍රවීණ වෘත්තිකයන් පිරිසක් විසින් මෙම ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙනු ලැබේ. මෙහි මූලික සැසි කිහිපයක් පසුගියදා පවත්වන ලද අතර ඒ සඳහා SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆනෑන්ඩස් සහ Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ සම්පත් දායකත්වය හිමි විය.

    මාර්ගෝපදේශන සහ පුහුණු සැසිවලින් අනතුරුව, වැඩසටහනට සහභාගී වන්නන්ට ‘Demo Day’ වැඩසටහනකට එක්වීමට අවස්ථාව හිමි වේ. එහිදී මෙම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පිළිබඳ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, උපදේශකවරුන්, ආයෝජකයන් සහ ව්‍යාපාර මිලදී ගන්නන් යනාදීන්ගෙන් සමන්විත මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත. Demo Day වැඩසටහනෙන් අනතුරුව තෝරාගනු ලබන ජයග්‍රාහකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා රු. මිලියනයක් දක්වා මුදලක් හිමි වේ.

    ‘Entrepreneurship Studio’ වැනි වැඩසටහන් ඔස්සේ, ශ්‍රී ලංකාව නවෝත්පාදනය හා තාක්ෂණය සම්බන්ධ ගෝලීය කේන්ද්‍රයක් බවට පත්කිරීමේ උත්සාහයට පුළුල් දායකත්වයක් ලබාදීම SLT-MOBITEL හි අපේක්ෂාව වී ඇත. ඉදිරියේදී මෙම වැඩසටහන රටේ ව්‍යසායකයන් අතර මෙන්ම, තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ නව ව්‍යාපාර පිළිබඳව උනන්දුවක් දක්වන ආයෝජකයන් අතර ද අතිශයින් ජනප්‍රිය වාර්ෂික ඉසව්වක් බවට පත්වනු නොඅනුමාන ය.