SLT-MOBITEL Fibre පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම

    March, 24, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට සහ නව Fibre සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම එකතුවක් හඳුන්වා දී තිබේ. මේ මඟින් පාරිභෝගිකයන්ට විශේෂයෙන් සැලසුම් කළ ඩේටා පැකේජ වට්ටම් සහිතව ලබාදීමට කටයුතු කරන අතර, ඔවුන්ට මාසිකව අතිරේක ඩේටා ලබාදීමටත්, ක්රෙඩිට් කාඩ්පත් හරහා පොලී රහිත (කාඩ්පත් නිකුත් කළ බැංකුව අනුව) මාසික පහසු ගෙවීමේ ක්රම හඳුන්වා දීමටත් පියවර ගෙන ඇත.

    රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රය අතිශයින් තරඟකාරී වී ඇත. එබැවින් සිය පාරිභෝගිකයන්ට අවම පිරිවැයක් සහිත විසඳුම් පිරිනැමීමේ අත්යවශ්යතාව හඳුනාගත් SLT-MOBITEL රටේ ප්රධාන බැංකු කිහිපයක් සමග එක් වී Fibre පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම දීමනා එකතුව හඳුන්වා දෙන ලදි.

    මෙම නව ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයන්ට Triple Play සහ Double Play වශයෙන් ප්‍රධාන පැකේජ වර්ග දෙකක් හිමි වේ. නව පාරිභෝගිකයන් Triple Play පැකේජයක් ලබාගැනීමේදී ඔවුන්ට රු. 82,990 ක මුදලකට නව සම්බන්ධතාවක් සමග මාස 12 ක කාලසීමාවක් සඳහා දුරකථන, අන්තර්ජාල සහ PEOTV සේවාවන් හිමි වේ. Double Play මඟින් නව පාරිභෝගිකයන්ට මාස 12 ක කාලයක් සඳහා දුරකථන සහ අන්තර්ජාල පහසුකම් හිමි වන අතර, එහි මිල රු. 54,960 කි. දැනටමත් Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට රු. 69,450 ක මුදලකට දුරකථන, අන්තර්ජාල සහ PEOTV සම්බන්ධතා සහිත Triple Play පැකේජය ලබාගත හැකි අතර, රු. 41,420 ක මුදලකට දුරකථන සහ අන්තර්ජාල පහසුකම් පමණක් සහිත Double Play පැකේජය ලබාගත හැක.

    මේ සියලුම පැකේජ සඳහා මසකට 75GB ‘Any time Data’ සහ 25GB ‘යූටියුබ් ඩේටාහිමි වේ. පාරිභෝගිකයන්ගේ අවශ්යතාව  මත නව පැකේජයක් ලබාගැනීමට හෝ තම සුපුරුදු පැකේජයම භාවිතා කිරීමේ පහසුකම සැලසේ.

    තම පාරිභෝගිකයන්ට සහනදායී මිලගණන් යටතේ සේවාවන් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා මෙවැනි දීමනා හඳුන්වා දීම, එම උත්සාහයේ තවත් එක් පියවරකි.

    මෙම ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.