July, 23, 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් SriLankan Aviation College (SLAC) පුහුණු පාසලට 2026 වසර සඳහා ‘IATA Authorised Training Centre (ATC) Preferred Partner’ ලෙස International Air Transport Association (IATA) පිළිගැනීම හිමි වී තිබේ. මෙය ලොව ප්‍රමුඛ පෙළේ IATA සාමාජික පුහුණු ආයතනයක් ලෙස SLAC අත්කරගෙන තිබෙන කීර්තිය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. ලොව විශිෂ්ටතම කාර්යසාධනයක් සහිත IATA පුහුණු මධ්‍යස්ථාන 10 අතරින් එකක් ලෙස සැලකෙන SLAC පසුගිය වසරේදීද මෙම පිළිගැනීම හිමිකර ගැනීමට සමත් විය.
ජාත්‍යන්තරව පිළිගත් ගුවන් සේවා පාඨමාලා පිරිනමන ඉහළ කාර්යසාධනයක් සහිත IATA පුහුණු ආයතන වෙත 'ATC Preferred' තත්ත්වය පිරිනමනු ලැබේ. ආයතනය තුළ පවත්වනු ලබන IATA පාඨමාලා ගණන සහ එම පාඨමාලා හදාරන සිසු සිසුවියන් සංඛ්‍යාව ඇතුළු විවිධ කාර්යසාධන දර්ශක මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරෙන අතර, කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා පුහුණු ආයතනයක් ලෙස SLAC වෙත හිමි වී ඇති ජනප්‍රියත්වය හා පිළිගැනීම මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.
2008 වසරේදී IATA සහතිකකරණය හිමි පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් වූ SriLankan Aviation College ආයතනය 2014 වසරේදී IATA Regional Training Partner (RTP) තත්ත්වයට උසස් කෙරිණි. එතැන් පටන් ගුවන් සේවා පුහුණුව සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය උදෙසා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් IATA විසින් එම ආයතනය වෙත සම්මාන සහ ඇගයීම් රැසක් හිමි විය. SLAC ආයතනය ශ්‍රී ලංකාව තුළ IATA Regional Training Partner තත්වය හිමි එකම ආයතනය වන අතර, කලාපය තුළද එවැනි ආයතන ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි. ලොව වෘත්තීය ගුවන් සේවා අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් එම ආයතනය අත්කරගෙන ඇති සාර්ථකත්වයට එය මනා සාක්ෂියකි.
SriLankan Aviation College මඟින් ලබාදෙන පුහුණුවේ ගුණාත්මකභාවය, එහි ඇති අතිනවීන පහසුකම් සහ එය සතු ඉහළ පිළිගැනීම යනාදී සාධක හේතුවෙන් එම ආයතනය කලාපය තුළ ප්‍රමුඛතම ගුවන් සේවා පුහුණු ආයතනයක් ලෙස විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. මෙම ආයතනය තුළ IATA පාඨමාලා හදාරන සිසු සිසුවියන් දිගින් දිගටම දිවයිනේ ඉහළම මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වීම, එහි ජනප්‍රියත්වය සහ පිළිගැනීම තවදුරටත් වර්ධනය වීමට හේතුවක් වී තිබේ.
IATA ATC Preferred Partner තත්වය හිමි වීම මඟින් SriLankan Aviation College ආයතනයට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති අතර, එමඟින් ජාත්‍යන්තර තලයේ ගුවන් සේවා පුහුණු ආයතනයක් ලෙස එය සතු හැකියාවන් සහ පිළිගැනීම තවදුරටත් වැඩිදියුණු වී තිබේ. මෙම ආයතනය දැනට පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් IATA පාඨමාලා අතරට IATA Airline Cabin Crew Qualification, IATA Foundation in Travel & Tourism Diploma, IATA Cargo Introductory Qualification සහ IATA Managing the Travel Business programme වැනි පාඨමාලා රැසක් ඇතුළත් වී ඇත. මේ සියල්ල ගෝලීය ගුවන් සේවා සහ සංචාරක සේවා ක්ෂේත්‍ර තුළ රැකියා සඳහා අත්‍යවශ්‍ය වන දැනුම හා පුහුණුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දෙයි.
මෙම නවතම පිළිගැනීම, ශ්‍රී ලංකාව තුළ මෙන්ම කලාපය පුරා දක්ෂ ගුවන් සේවා වෘත්තිකයන් බිහිකරන විශිෂ්ට පුහුණු මධ්‍යස්ථානයක් ලෙස SLAC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරනු නිසැකය.
SriLankan Aviation College (SLAC) යනු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසැලයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුවන් සේවා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් දශක හතරකට අධික පළපුරුද්දක් හිමි එම ආයතනය, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසු සිසුවියන්ට ජාත්‍යන්තර තලයේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදා කර දෙයි. International Air Transport Association (IATA), ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ මාලදිවයින යන රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතන සහ යුරෝපා සංගමයේ Aviation Safety Agency (EASA) වැනි ආයතනවල පිළිගැනීම හිමි මෙම ආයතනය, Royal Aeronautical Society (RAeS) සහ European Aviation Maintenance Training Committee යන සංවිධානවල සාමාජිකත්වයද හිමි කරගෙන තිබේ. ලොව පිළිගත් අධ්‍යාපන හා පුහුණු ආයතන රැසක් සමඟ අත්වැල් බැඳගෙන සිටින SriLankan Aviation College ආයතනය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රැකියාවන්හි නියුතු පුද්ගලයන් උදෙසා පුළුල් පරාසයක විහිදුණු ගුවන් සේවා සහ ආයතනික පුහුණු අවස්ථා පිරිනමයි.
SriLankan Aviation College පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.srilankanaviationcollege.com වෙත පිවිසෙන්න.
Video Story